සටහන – රුවන් නෙළුගොල්ල
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව එදා සිට මේ දක්වා සෑම ආණ්ඩුවකම ප්‍රධානීන් දන්නා බවත් එසේ දැනගෙන සිටියත් මහමොළකරු සමග සටන් කිරීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“ලෝක සාමය, තිරසර සංවර්ධනය සහ භූ දේශපාලනය ගැන කතාකරන විට ප්‍රධාන වශයෙන්ම මට කියන්නට තියෙන්නේ ලෝකෙ ඉන්න බලවතුන් කිහිපදෙනෙක් මානසික රෝගීන්. ඒගොල්ලන්ට යුද්ධය නැතිව බෑ. යුධ මානසිකත්වයෙන් පෙළෙන අය. එක පැත්තකින් ඊශ්‍රායලයේ නෙතන්යාහු. එයාට ඉන්න බෑ, හැමවෙලේම කාටහරි ගහන්න ඕනෙ. පලස්තීනය ඉවරෙටම ඉවර කරලා දැම්මා. ඊළඟට ඉරානයට ගහන්න පටන් ගත්තා. ඉරානයත් ගහනකොට ඊශ්‍රායලයට, ඇමරිකාව විශාල B2 යාත්‍රාවලින් ගිහිල්ලා ඉරානයට ගැහුවා. එතකොට මේවාට යන සල්ලි මේ ලෝකෙ දුප්පත් රටවල්වලට දෙනවා නම් ….?
අපි අවුරුදු 25 – 30 කට ඉස්සෙල්ලා ඇමරිකාවට යනකොට හිඟන්නු නෑ. යුරෝපයට යනකොට හිඟන්නු නෑ. හැබැයි අද ඇමරිකාවට, යුරෝපයට ගියොත් පාරේ හිඟන්නු ඉන්නවා. ඒ මොකද ? මේ ඇතිවෙලා තිබෙන තත්වයන්. ඒක නිසා මේ යුධ මානසිකත්වය බරපතළ ප්‍රශ්නයක් මානව සමාජයට. මම නම් සෘජුවම කියනවා පසුගිය දවස්වල ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම, මේක අනාගතයට බරපතළ ප්‍රශ්නයක් වේවි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්න කාලෙ, LTTE සංවිධානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක, අන්තිමට ඉන්දියාව අපිට පරිප්පු දැම්මා. පරිප්පු දාලා ජේ. ආර්. ජයවර්ධන මහත්තයයි කට්ටිය බය කරලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුවා. පළාත් සභා පනත සම්මත කෙරුවා. දැන් අවුරුදු 11ක් පළාත් සභා ක්‍රියාත්මක නැහැ. නිලධාරීන් 2500කට වැඩිය නිකම් ඉන්නවා, කෝටි ගාණක් අවුරුද්දකට අපතේ යනවා. මේවා ඇතිවුණේ අපේ ප්‍රශ්න නිසා නෙවෙයි, අපට ඇතිවෙලා තිබෙන බලපෑම් නිසා.
තවත් අපට ලොකු අපරාධ සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ කරලා තියෙනවා. මාව මහා අපකීර්තියට පත්වෙච්ච, මගේ ආණ්ඩුව විනාශ කෙරුවෙත්, මගේ පක්ෂය විනාශ කෙරුවෙත් ඔය විදිහේ වැඩපිළිවෙලක් තුළ තමයි. ඒක නිසා මම නම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා මේ සිද්ධ වෙච්ච දේ කොහොමද සිද්ධ වුණේ කියලා. නමුත් ඒක කාටත් එළියේ කියන්න බැරිකම තමා තියෙන්නෙ. මහමොළකාරයා හොයන්න දැඟළුවාට ඔය හැම කෙනාම මහමොළකාරයා කවුද කියලා දන්නවා. මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අයත් දන්නවා, හමුදාවල අයත් දන්නවා, බුද්ධි අංශවල අයත් දන්නවා. නමුත් මහමොළකාරයා කොහෙද ඉන්නෙ කියලා කිව්වාට, මහමොළකාරයාත් එක්ක අපිට සටන් කරන්න පුළුවන්කමක් නෑ”
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි.
