කොළඹ LNW:තවදුරටත් බදු සහන ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්වයේ නියෝජිත පිරිසක් හමු වී තිබුණි.
ඇමෙරිකානු එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්ව (U.S. House Democracy Partnership-HDP) කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (27) පාර්ලිමේන්තුවේ දී සිදු විය.
මේ සඳහා මෙරට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය ද එක්වූවාය.
මෙහි දී ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉස්මතු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මුළු අපනයනවලින් 24% කට ආසන්න ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදු කරන බවත්, එහි දී මෙරට සමස්ත ඇඟලුම්වලින් 63% ක් පමණ ඇමෙරිකාව වෙත අපනයනය කරන බවත් පැවසීය.
මෙම අපනයන සෘජුවම රැකියා 400,000ක් පමණ උත්පාදනය කරන අතර එමඟින් යැපෙන්නන් මිලියනයකට වඩා වක්‍රව නඩත්තු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සැපයුම්දාම සහ කර්මාන්ත ඇමරිකානු වෙළඳපොළට ප්‍රවේශ වීම මත දැඩි ලෙස රඳා පවතින බව ඔහු මෙහි දී පෙන්වා දුන්නේය.
වෙළඳ තීරුබදු සම්බන්ධයෙන් අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ මෑත කාලීන අඩු කිරීම් මඟින් අනුපාත පහත වැටී ඇති නමුත් (උදා: 44% සිට 30% දක්වා සහ 30% සිට 20% දක්වා) ශ්‍රී ලංකාව පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් තවදුරටත් මේ බදු සහන වැදගත් බවයි. එසේම ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන මිත්‍රත්වය අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, දේශපාලනය, වාණිජ්‍යය, අධ්‍යාපනය සහ ජනතාව අතර හුවමාරුව හරහා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය, සිතීමේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස, ආගමික නිදහස සහ විවිධත්වයට ගරු කිරීම සඳහා රටවල් දෙකම පොදු කැපවීමකින් බැඳී සිටින බවත් ඔහු මෙහි දී අවධාරණය කළේය.
මෙම හමුව සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් ඩෙරෙක් ලුයිටන් මහතා (Executive Director, House Democracy Partnership), චේස් බබෙයාර් මහතා (Majority Staff Lead, HDP), කොල්බි හැරිමන් මහතා (Minority Staff Lead, HDP), එරික් අෂිඩා මහතා (Professional Staff Member, U.S. House Foreign Affairs Committee (Minority)), එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන/ආර්ථික උපදේශක ඇන්තනි වී. පිර්නොට් මහතා, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ඇඩම් මිචෙලෝ මහතා සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නස්රීන් මරික්කාර් මහත්මිය යනාදීන් එක් විය.
ඇමෙරිකානු එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්ව (HDP) නියෝජිත කණ්ඩායමේ මෙරට සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ පුහුණු වැඩසටහන් ඇතුළුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ අනාගත සහයෝගීතාව හඳුනා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පාලන ආයතන සඳහා තාක්ෂණික සහාය ලබා ගත හැකි ක්ෂේත්‍ර ගවේෂණය කිරීම යි.
