කොළඹ LNW: ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ ජාතික උත්සවය අද (15) බදුල්ලේදී පැවැත්වෙයි.
”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වන අතර පුනරුදයේ පුරවරයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙය වන පුනරුදයේ පුරවර 2025 පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීම අද (15) ආරම්භ වීමට නියමිතයි. එය සියලුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක වෙනු ඇති.
මෙහි සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන 341 අතරින් අඩුම ආදායමක් සහිත පලාත් පාලන ආයතනය වන බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට අයත් මීගහකිවුල සතිපොල පරිශ්‍රයේ දී පුනරුදයේ පුරවර සමාරම්භක උත්සවය සංවිධානය කර තිබේ.
අද (15) දිනයේදී ආරම්භ වන මෙම වැඩසටහන ලබන 21 වනදා දක්වා සතියක් පුරා පැවැත්වීමට නියමිත අතර අද දිනය ජංගම සේවා දිනය ලෙස නම්කර ඇති අතර 16 වනදා පරිසර සහ රුක්රෝපණ දිනය 17 වන දා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය 18 වනදා ආදායම් ප්‍රවර්ධන දිනය,19 වනදා සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය, 20 වනදා මහජන උපයෝගීතා සහ ක්‍රිඩා දිනය ලෙස සහ 21 වනදා මෙහි සමාප්ති උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇත.
ජනාධිපති කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, සෞඛ්‍ය, ආරක්ෂක, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස, පරිසර යන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා පොලීසිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා එක්ව සිටියි.
ආශිකා බ්‍රාහ්මණ
