විදේශ ඇමති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය හමුවට

Date:

ජිනීවා හි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය අතරතුර දී, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය, ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ මහ ලේකම්වරයා සහ චීනය, යුරෝපා සංගමය, ඔස්ට්‍රේලියාව, කොරියානු ජනරජය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ජෝර්දානය යන රටවල නිත්‍ය නියෝජිතවරුන් හමුවිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සමඟ පැවති හමුවේ දී, ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර පද්ධතිය සමඟ අවංකව සහ විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව හා ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට අමාත්‍ය පීරිස් මැතිතුමා මහ කොමසාරිස්වරියට සහතික විය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය, තිරසාර සංවර්ධන ඉලක්ක කවුන්සිලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන ඇතුළු දේශීය යාන්ත්‍රණයන් මගින් භූමියේ ලබා තිබෙන ප්‍රතිඵල පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා විස්තරාත්මකව පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මීට පෙර මහ කොමසාරිස්වරිය වෙත කරන ලද ආරාධනය තවදුරටත් එලෙසම පවතින බව ද විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා දන්වා සිටියේය. වත්මන් සැසිවාරය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කරන ලද එතුමියගේ එළඹෙන විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ද එතුමා එතුමියට සුබ ප්‍රාර්ථනා කළේය.

චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍යවරයා වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය පිළිබඳව චීනයට ස්තුති කළේය. රට මුහුණ දෙන ආර්ථික අභියෝග, විශේෂයෙන්ම විදේශ සංචිත සම්බන්ධ ගැටළු සහ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි ඒවායේ බලපෑම පිළිබඳව සාකච්ඡා කරමින්, චීනය විසින් ලබා දුන් ආහාර, ඖෂධ ද්‍රව්‍ය සහ කොවිඩ්-19 එන්නත් සැලකිය යුතු ප්‍රමාණය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා කෘතඥතාව පළ කළේය. දෙරට අතර අඛණ්ඩව පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතාව සහ ඉදිරියේදී එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාව පිළිබඳව ද මෙහිදී සඳහන් කෙරිණ.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නියෝජිත තානාපති ඇමැන්ඩා ගෝර්ලි මහත්මිය, ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් මහත්මියගේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාකච්ඡා කළහ. ස්වදේශ කටයුතු අමාත්‍යවරිය හමුවීමට එතුමා අපේක්ෂාවෙන් සිටින බව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව විසින් මානුෂීය ව්‍යසනයක් ලෙස දකින නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහිව අඛණ්ඩ සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවට විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා නිත්‍ය නියෝජිතවරියට සහතික විය.

ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ මහලේකම් ජගන් චැපගේන් මහතා සමඟ පැවති හමුවේ දී, ප්‍රමුඛතාවයක් ලෙස සලකා ශ්‍රී ලංකාවට ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ලබා දෙන ලෙස අමාත්‍ය පීරිස්  මැතිතුමා ඉල්ලා සිටියේය. යුරෝපා සංගමයේ නිත්‍ය නිරීක්ෂක තානාපති ලොටෙ නුඩ්සන් මහතා සමඟ පැවති සාකච්ඡා‍වේදී, විදේශ අමාත්‍යවරයා වෙළඳාම, ආයෝජන සහ සංචාරක කටයුතු ඇතුළු ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පිළිබඳව ඉස්මතු කළේය.

විදේශ අමාත්‍යවරයා, අරාබි ලීගයේ සම්බන්ධීකාරක සහ ජෝර්දානයේ නිත්‍ය නියෝජිත තානාපති වලිඩ් ඛාලිඩ් ඔබෙඩට් මහතා, කොරියානු ජනරජයේ නිත්‍ය නියෝජිත තානාපති ටේහෝ ලී මහතා, නෙදර්ලන්තයේ කාර්යභාර නිලධාරි තානාපති නටලී ඔලයිස්ලාගර් මහත්මිය සහ ජර්මනියේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තානාපති හාන්ස්-පීටර් ජුගල් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජුනි 19 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...

ඉන්දියාවේ මීලඟ අත්හදා බැලීම!

රෂිකා හෙන්නායක ජූලි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවීන බංකර්-බස්ටර් අවියක්...