තෙදින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති අනුර යළි දිවයිනට!

0
148

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW :

තෙදින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. පසුගිය සැප්තැම්බර් 27 වන දා සිය ජපාන නිල සංචාරය ආරම්භ කළ ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවති “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සබඳතා පුළුල් කෙරෙන ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකටද ජනාධිපතිවරයා මෙහිදී එක් වූ අතර, ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba), ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu), ආරක්ෂක අමාත්‍ය ඩීඑම් නකටානි (DM Nakatani) යන අමාත්‍යවරු සහ නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සභාපති ටනාකා අකිහිකෝ (Dr. TANAKA Akihiko) යන මහත්වරු ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්විය.

ජපාන – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි (Project for the Enhancement of Productivity in the Dairy Sector) ප්‍රදාන ගිවිසුමට (Grant Agreement) අත්සන් තැබීමද ජනාධිපතිවරයාගේ සංචාරයට සමගමීව සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක් වූහ.