දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුමතිපාල මහානාම අබේවික්‍රම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියැදුරු අයි.එල්.කේ. දිසානායක වෙත නිකුත් කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියැදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ නොකර ඔහුට වාසියක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අල්ලස් පනෙත් ‘දූෂණය’ නම් චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය “ සිරිකොත’’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294,87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදු කිරීමයි.

ආශිකා බ්‍රාහ්මණ