නිශ්මං රණසිංහ නොවැම්බර් 07, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා මධ්‍යම ආසියානු වොලිබොල් තරගාවලියේ දී අපරාජිතව සිටි කිර්ගිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0 ක ජයක් ලබන්නට සමත් විය.ඒ අනුව සහභාගි වන කණ්ඩායම් 4 අතරේ ශ්‍රී ලංකාව මුල් වටය නිමාවේදී සිටින්නේ දෙවන තැනය.මුල්වටය නිමාවේ කණ්ඩායම්වල තත්ත්වය විමසා බැලීමේදී කිසිඳු කණ්ඩායමක් අපරාජිත නැත.නේපාලය,කිර්ගිස්තානය සහ ශ්‍රී ලංකාව එක තරගය බැගීන් පරාජය වී තිබෙන අතර මාල දිවයින කිසිඳු තරගයක් ජයගෙන නැත.ශ්‍රී ලංකාව නේපාලයට පරාජය වූ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වූ අඩුපාඩු නිසා පරාජය වූ එකක් බව අපේ හැඟීමය.අඩුම තරමේ ශ්‍රී ලංකාව එම තරගය වට 3-2 ක් ලෙස ජය ගත්තේනම් අවසාන පූර්ව තරගයේදී වඩාත් පහසුවෙන් මාල දිවයින සමඟ තරග කරන්නට තිබිණ.
එහෙත් ගැටළුවක් වන්නට නොහැකිය.ඔවුන් අවසාන පූර්ව තරග වටයේදී හමුවන්නේ තෙවන තැන සිටින කිර්ගිස්තානයය.මාල දිවයිනට හමුවන්නේ පළමු තැන සිටින නේපාලයය.ඇත්තටම තත්ත්වය ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සිටින හොඳම දක්ෂතා සහිත කණ්ඩායම වීමය.ප්‍රතිවාදීන්ට ඇති වාසියඑම දක්ෂයන් විසින් කරන අත් වැරදිය.එසේත් නැතිනම් අදාළ මොහොතට කළ යුතු දේ ගැන නිශ්චිතව තීරණය කරන්නට ඇති නොහැකියාවය.

ඊට හේතුව කණ්ඩායමේ මානසිකත්වයය.එම මානසිකත්වයට හේතුව මේ තරගාවලියේ සිටින ලාබාලතම කණ්ඩායම ශ්‍රී ලංකාව වීමය.ක්‍රීඩිකාවන් හය දෙනෙකුම අවුරුදු 19 න් පහළ නොව අවුරුදු 16 න් පහළය.ඒත් ඒ පුංචි උන් තේරුම්ගත යුතු ඇත්ත සහ අවබෝධ කර ගත යුතු දේ තමන්ගේ දක්ෂතා අවුරුදු 19 න් පහළ දක්වා වැඩී තිබෙන බවය.තම දක්ෂතා තිබෙන්නේ වැඩුණු වයසක නිසා ලංකාවේම තමන්ට වැඩිය වයස අය දෙවැනි කොට මේ කණ්ඩායමට තමන් පැමිණ සිටින බවත්,එසේ හැකිනම් තමන් මධයම ආසියාවේද තමන්ට වඩා වැඩි වයසක් ඇති අය ඉක්මවා දස්කම් දැක්විය හැකි මට්ටමේ ඇති බවත් ඔවුන් තේරුම් ගත යුතුය.

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත්,ජනගත ක්‍රීඩාව ක්‍රිකට්ය.ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් නායකයා වන අර්ජුන රණතුංග ලංකාවේ මංගල ටෙස්ට තරගයට තෝරා ගත්තේ පාසල් සිසුවෙකුව සිටියදීය.එහෙත් ඔහු ඉතිහාසයට එක්වන්නේ ලංකාවේ පළමු ටෙස්ට් අර්ධ ශතකලාභියා ලෙසය.ඔහු ජාතික කණ්ඩායමට සුදුසු වුයේ ඒ මට්ටමට දක්ෂතාවලින් ඉහළින් සිටින බැවින් බව අර්ජුන සහතික කළේය.ලෝකයේ බිහි වූ විශිෂ්ටථම පිතිකරුවෙකු වන සචින් තෙන්දුල්කාර් ජාතික කණ්ඩායමට එන්නේ අවුරුදු 17 දී ය.ලෝකයේ ජනප්‍රයම ක්‍රීඩාව වන්නේ පාපන්දුය.එහි රජු වන පෙලේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට එන්නේ වයස අවුරුදු 16 දී ය.එසේනම් මේ කණ්ඩායමේ සිටින 16 න් පහළ අය සිඟති නැත.ඔබ දක්ෂතාවලින් අවුරුදු 19 න් පහළ මට්ටමේ සිටින විශිෂ්ඨයන්ය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියක් නැත.ඒ නිසා ජයග්‍රහණය කරා යන්නට පාවාඩ එළන මිනිසුන් අඬුය.දිනූ විට පයට පාවඩත් හිසට උඩු වියනුත් තනා ජයග්‍රාහකයන් කැඳවාගෙන යන්නට බොහෝ අය එනු ඇත.ඒ නිසා මේ ලාබාල ක්‍රීඩිකාවන් ලංකාවේ ක්‍රීඩා කරනවානම් දුර සිටම දත යුතු සත්‍යය තමන්ටත් රටටත් ගෞරවයක් වෙමින් අඩුපාඩු නොසළකා හැරීම් අවධානයට ලක් නොවීම් වැනි කාරණා ඉවසා දරාගෙන අවසාන ප්‍රතිපලයේදී ජයග්‍රාහකයෙක් වී ඔප්පු කිරීමය.එහෙත් ඒ වෙනුවෙන් කැප වුණු මිනිසුන් ලැබීමට තරම් වාසනාවන්ත වූ ක්‍රිඩිකාවන් ද මෙහි ඇති බව අපි දනිමු.

ඔවුන්ගේ වොලිබෝල් පාසලේ කීර්තියත් සමඟම වළලා දමන්නට තරම් හිත්පිත් නැති පාළකයන් විසින් වීසි කර දමද්දී ඔවුන් කැළේට වැටෙන්නට නොදී ආදරයෙන් කරුණාවෙන් රැකගෙන එම ක්‍රීඩිකාවන්ගේ වටිනාකම් රටට මුසු කරන්නට දායක වූ මිනිසුන් ද,එවැනි වැඩ සටහන් ඇති කිරීමට මුල් වූ මිනිසුන් ද තවමත් වොලිබෝල් පරිපාලනය තුළ සිටීම සතුටට කරුණකි.ලංකාව වැනි රටක ක්‍රීඩාවේ පාළකයන්ට ජාතික වගකීම තරමටම එවැනි දුක්ගන්නා කටයුතුවල පළපුරුද්ද ද, උවමනාවද,ඒ සඳහා සුදුසු වූ පළල් හදවතක් ද තිබිය යුතුය.
තරග ප්‍රතිපලය අතහැර මෙතරම් දේ ලීවේ එතරම්ම අවබෝධයකින් මේ තරුණ ක්‍රීඩිකාවන් සන්නද්ධ විය යුතු නිසාය.ඔවුන් මේ තරගාවලිය ජය ගැනීමට හැම අතින්ම සුදුසු දක්ෂතා ඇති අය බව කිර්ගිස්තානයට එරෙහි ජයත් සමඟ ඔප්පු කළ නිසාය.පළමු වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 25 – 19 ක් ලෙස ජය ගත්තේ තරගයේ ආරම්භයේදී ඉදිරියට ඒමට හැකි වූ නිසා කෙනෙකුට තර්කයක් හැටියට ගෙන එන්නට හැකිය.එහෙ.් දෙවන සහ තෙවන වටවලදී ආරම්භයේදී ඉදරියට ගිය කිර්ගිස්තානය හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.එසේම පීඩනය කළමණාකරණය කර ගනිමින් ක්‍රීඩා කරන්නට දැක් වූ හැකියාව හොඳින්ම දැක ගන්නට ලැබුණේ දෙවන වටයේදී ය.ලකුණු 27 -25 ක් ලෙස එම වටය ජයගත් ශ්‍රී ලංකාව තරගය අත් නොහැර කළ සටන විශිෂ්ඨය.එවැනි තැන්වලදි වඩාත් පළපුරුදුකම් ඇති නායිකා පසිඳුනි සුලක්ෂණා මූලිකත්වය ගැනීමද අගය කළ යුතුය.

තෙවැනි වටයේදී ශ්‍රී ලංකාව ජය ගත්තේ 25 – 22 ක් ලෙසය.එහෙත් අවසාන මොහොතේදී තරගයේ ප්‍රධාන විනිසුරුවරයා වූ අලි ශාකි කිර්ගිස්තාන ක්‍රීඩිකාවන්ගේ අතේ වැදී ගිය ඉවත ගිය පන්දුවක් ඔවුන්ට ලකුණු ලැබෙන සේ තීරණය කළේය. පැති විනිසුරුවන් පෙන්වද්දී පවා ඔහු එය නොසළකා හැරියේය.එහෙත් පසුව එයට සරිලන සේ අතේ නොවැදුණු පන්දුවක ලකුණ ශ්‍රී ලංකාවට ලබා දී තරගයේ ජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේය.එම අවස්ථාවේ මතු වූ විරෝධය නිසා පැති විනිසුරුවන්ගේ කරුණු අසා ඔහු වරද නිවැරදි කළත්,පළමු අවස්ථාවේ පැති විනිසුරුවන්ගේ තීරණය නොසළකා සිටීම වැරදි තත්ත්වයකි.කෙසේ හෝ වැරදි තීරණයකින් නොපැමිණි ලකුණ නිසා ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබුවේ කැළලක් රහිතව වීම වැදගත්ය.

ශ්‍රී ලංකාවට අද විවේක දිනය අතිශයින් වැදගත්ය.නැවත මේ ප්‍රශංසා සහගත තරගය ඒ ආකාරයෙන්ම ක්‍රිඩා කර ජය ගන්නට කිර්ගිස්තානය ශ්‍රී ලංකාවට ඉඩ නොදෙනු ඇත.ජාත්‍යන්තර තරගවල හැටි එහෙමය.ඒ නිසා වෙනස් සැළසුම් රැඟෙන ඒම වැදගත්ය.ශ්‍රී ලංකාවේ පසිඳුනි සුලක්ෂණා මෙන්ම නෙත්මි දිව්‍යංජලී ද යම් යම් අවස්ථාවල සිය ප්‍රහාර ක්‍රීඩිකාවන්ගෙන් හිස් තැන් හී පතිත කරනායුරු දකින්නට ලැබිණ.එහෙත් එය ප්‍රමාණවත් නොවේ.නැවත හමුවේදී වේගයටත් වඩා ප්‍රහාරය නිමා වී පතිත වන තැන වැදගත් වනු ඇත.ක්ෂණික ප්‍රහාරිකාව වන අපස්රා නෙත්මිණිට වැඩ ගොඩක් කළ හැකිය.ඔසවා නොදෙන පන්දුවක් වුව අවස්ථානුකූලව ප්‍රතිවාදී පිළ මත ක්ෂනිකව පතිත කරන්නට ලැබෙන අවස්ථාවන් ඇය අත් නොහළ යුතුය.වැදගත් පීඩනයේ පරිමාව පළල් කිරීමය.එවිට පිළිතුරු සෙවීමට ප්‍රතිවාදීන්ට වැඩි පුර කල්පනා කිරීමට සිඳුවීමෙන් ඇති වන සංකීරණ තත්ත්වය ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇත.

පොඩිම කණ්ඩායම අපේ කියන කාරණය කිසිවිටෙක පරාජයේදී නිදහසට කාරණයක් නොවන්නේය.මේ සිටින්නේ දක්ෂතාවලින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකාව සතුව සිටින හොඳම කණ්ඩායමය.මේ දක්වා ක්‍රීඩා කළ ආකාරයෙන් පොඩි පොඩි අඩු පාඩු කර ගැනීම ඒ පොඩිකම නිසා විය හැකි වුව ද,ඒ වැරදි නිවැරදි කරගෙන තමන්ට ලැබී ඇති ජාතික වගකීමට සාධාරණය ඉටු කරන්නට මේ කණ්ඩායමට හැකිය.එසේ වුවහොත් පොඩි කතා නිශේධනය වනු ඇත.එළැඹෙන නවවන ඉරිදා මධ්‍යම ආසියාවේ අවුරුදු 19 න් පහළ ලොක්කියන් වීමට මේ කෙල්ලන් රෑනට හොඳටම ඉඩ ඇත.

