සියක් ජීවිත මිහිදන්වු තැන …..

සියක් ජීවිත මිහිදන්වු තැන
දස සියක් නෙක මල් පිපෙයි.
බහක් නොදොඩා ගලා යන ගඟ
සෝක පණිවිඩ ගිල ගනියි.

ඇවිද යනවිට පහත් බිම්වල
දුවේ කියනා හඬ ඇසෙයි
සැනසිලා නිදියන්න අම්මේ
මගේ හදවත ඉකි බිඳියි.

ගියායැයි අත්සන් යොදා ඇති
ලියවිල්ල මා ළඟ තියෙයි.
ගිය බවක් නොදුටුව ශෝකයෙන්
මනස තවමත් හිරි වැටෙයි.

~ වර්ණ රසිකා ගුණවර්ධන