රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :
සමාජයේ විවිධ කණ්ඩායම් , ජලයෙන් යටවු ස්ථාන පිරිසිදු කිරිමේ සිට යළි ඉදිකිරීම් දක්වා එක්ව සිටින්නේ එකාවන්වයි.
ඒ අනුව, ආපදාවෙන් විපතට පත්වු බදුල්ල දිස්ත්‍රික්කය යළි ගොඩනැගිමේ අරමුණින් මාතර සිට බදුල්ලට 500කට අධික පිරිසකගෙන් යුත් ස්වේච්ඡා කණ්ඩායමක් පැමිණ සිටින අතර , නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ අධීක්ෂණය යටතේ ඔවුන් තම උපරිම ශ්‍රම දායකත්වය ලබා දෙයි.
මාතර සිට බදුල්ලට පැමිණි මෙම ස්වේච්ඡා කණ්ඩායම දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල ස්වේච්ඡා කටයුතුවල නිරතව සිටින බව පැවසේ.
නායයාම් නිසා අවහිර වී ඇති මාර්ග ජනතාවට යළි භාවිත කිරීමට හැකි ආකාරයෙන් සකස් කිරීමට ඔවුන් ගන්නේ දැඩි උත්සාහයකි.
හානියට පත්ව ඇති රාජ්‍ය ආයතන හා පෞද්ගලික දේපළ පිළිසකර කිරීමට ද මාතරින් පැමිණි මෙම කණ්ඩායම එක්ව සිටින බව වාර්තා වේ.
ඔවුන් මෙම ස්වේච්ඡා මෙහෙයුම්වල නිරතව සිටින්නේ, පස්සර , ලුනුගල , වැලිමඩ , මහියංගනය ආදි ප්‍රදේශ ආවරණය කරමිනුයි
ගංවතුරෙන් ගම්පොළ නගරය මුළුමනින්ම ජලයෙන් යටවූ අතර, ගම්පොළ ජිනරාජ විද්‍යාලය සම්පුර්ණයෙන් පිළිසකර කිරිමේ කටයුතු ගාල්ල රිච්මන් විද්‍යාලය භාරගෙන තිබෙන බව වාර්තා වේ.

ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම පරිගනක ඒකකය යළි පිහිටුවීම ද ඒ අතර වන බවයි විදුහල්පති රුසිර මද්දුමහේවා මහතා පවසන්නේ.
වැලිමඩ රේන්දපොළ ප්‍රදේශය නායයාමෙන් වාහන රැසක් පස්වලින් යටවී ගියා. එම වාහන ගොඩගැනීම මේ වන විට සිදුකෙරෙමින් පවති බව සඳහන් වේ.
උමා ඔයට ගසාගෙන ගොස් තිබු විශාල දුරකතන කණු සහ රැහැන් සහිත සන්නිවේදන පද්ධති දැඩි වෙහෙසක් දරා පිළිසකර කිරීමට සේවක කණ්ඩායම් එක්ව සිටී

අනුරාධපුර පුත්තලම මාර්ගයේ කලාඔය පාලම අසල මීටර දෙකකට අධික ප්‍රමාණයක් කඩාගෙන ගොස් තිබුණ අතර, අනුරාධපුර දිසා ලේකම් රංජිත් විමලසුරේන්ද්‍ර මහතා පවසන්නේ , එම කොටස කඩිනමින් පිළිසකර කොට ගමනාගමනයට විවෘත කළ බවයි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල වීදිය වත්ත ගිලා බැසි කොටස සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ධාවන කටයුතු ඊයේ (04) ආරම්භ කෙරුණි.
යුද හමුදාවේ ද සහාය ඇතිව මාර්ග සංවර්ධන අධිකාරිය ඊට දායක වී ඇති අතර, ජලය බැස ගිය ද ලිං ඇතුලු ජල මුලාශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු සිදුකළ යුතු වේ.
ගම්පහ ප්‍රදේශයේ ලිං පිරිසිදු කිරිමේ කටයුතු පළාත් පාලන ආයතන සහ ස්වේච්ඡා සංවිධාන මගින් සිදුකෙරෙමින් පවතී.
අනුරාධපුර මහමන්කඩවල වැව් කන්ඩිය කඩා ගෙන ගියේ කලාඔයෙන් මුදාහල මහා ජල ධාරාවටයි. ඉන් නිවාස 100ක් යටවූ අතර , එහි සිටි නිවැසියන් අවතැන් විය.
වැව් කන්ඩිය පිළිසකර කිරිමේ කටයුතු සිවිල් ආරක්ෂක බලකාය / විශේෂ කාර්ය බලකාය සහ ගොවි සංවිධාන එක්ව සිදුකරනවා. වැලි කොට්ට 4000ක් අතුරා තාවකාලික බැම්මක් ඉදිකෙරෙන අතර මෙම කටයුතු අධීක්ෂණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතායි.
විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතුවලට මෙරටට පැමිණ සිටින විදේශිකයන් ද එක්ව සිටී.
ගාල්ල උණවටුන ප්‍රදේශයට පැමිණ සිටින විදෙස් සංචාරකයන් , පානීය ජල බෝතල් , වියලි ආහාර මලු , සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ පාසල් උපකරණ ලබාදීමට කටයුතු කළ බව පැවසේ.
