තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :

නාවික හමුදා නිලධාරින් කණ්ඩායමක් විසින්, කල්පිටිය මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී බෝට්ටුවක් තුළ තිබි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, එම බෝට්ටුව තුළ උර තුනක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63 යි ග්‍රෑම් 718 ක් හා හොරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802 ක් සොයාගෙන ඇති බවයි .

අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.

ඒ අනුව එම මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු අත්අඩංගුවට ගැනිම සදහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කසල අංගනය අසල මාර්ගයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තව සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

පොලීසිය පැවසුවේ, එම ත්‍රීරෝද රථයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බවයි .

අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, බොරැල්ල, දුම්රිය ක්‍රීඩාංගණය අසල සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 226 යි මිලි ග්‍රෑම් 860ක් හා කොකේන් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 930 ක් එලෙස සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.