ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

0
521

ළමැද්දට අත තියා හිත සොයන
වැරැද්දට ස්නේහයම විසිකරන
පුරුද්දට අත් අකුරු වැසි වසින
දුරුත්තට කවි ලියා තනි රකින

කඳුළු විළිලන සොඳුරු මඳහසක
පතුළ විනිවිද දකින හදවතක
අතුළ හැඟුමන් ගෙනෙන පියපතක
විසිර ඇත කඳුළුබිඳු සියවසක

ගිරවියක ගොළු වුණොත් පව් නැද්ද
කෙතරම්ද දුක මිදුණ නිස්සද්ද
පිනි බිඳිති හිමිදිරියෙ ඇහැරෙද්ද
කළු පැහැති වුණෝතින් කිරි ඉද්ද

මෙය මගෙ හදයි එයට පිවිසෙන්න
බය නැතුව පය තියා ඇවිදින්න
පය රිදෙයි නම් පසෙක ඉඳගන්න
නිය තුඩින් කවියකට ඇහැරන්න

ජනේරුව ඇරඹුමද අවසනද
පෙනේ නොපෙනෙන ඇසක නිදිවැරුම
දැනේ නම් සසලබව පද අතර
සෙනේහය ඇද හැලෙයි ඇස පිපිර

කව් සිළුමිණෙන් ඇසෙන කවියකට
කවුළු දොර අරින්නට ඉඩ නොදෙන
කවුරුවත් නොවෙයි මේ මඳ පවන
කවුළු දොර පියන් මත ඇණ ගසන

සදාදර අනන්තය අත ගාව
පියාඹන සිතුම් තටු අතගෑව
මලානික කවියකට අත පෑව
සිනාසෙන කඳුළුබිඳු දුටුවාද

~ මංජුල වෙඩිවර්ධන