පළමු ශ්‍රේණියේ දරුවන්ට අද සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW :

අද (29) දින පළමුවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ වන අතර, ඒ අනුව මෙම වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගත් රජයේ පාසල්වල සියලු සිසුන් සඳහා අද සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වාදුන් විෂය මාලාවන් ඉගැන්වෙනු ඇති.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මුහුණ දෙන දරුවන්ට අධ්‍යාපන සහ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සුබපැතුම් පණිවිඩයක්ද නිකුත් කර තිබේ.

ආදරණීය දුවේ පුතේ, දයාබර දෙමාපියනි,
පාසල් යන මුල් ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් ලෙසින් සනිටුහන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ මල්ඵල ගන්වනු වස් සතුටින්, විනෝදයෙන් හා අර්ථවත් ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු.
ඔබ ඔසවාගෙන ආ යුතු පොත් බෑගයේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ, ඔබට ලබා ගැනීමට සලස්වන දැනුමේ හා ආකල්පවල මෙන් ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොර ව ඉතා පරිපූර්ණ ව හා ඉදිරි වැඩ ලෝකයට ගැළපෙන අයුරිනි.

දයාබර දෙමාපියනි, ඔබේ දරුවාට පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම අපේ අරමුණයි. කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් අපගේ විශ්වාසයයි. ඒ අනුව සෑම දරුවෙකුට ම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම අප භාරගෙන තිබේ. අපගේ ඒ අවංක උත්සාහය මුදුන් පමුණුවාගැනීමට සියලු දෙනාගේ ඵලදායි අදහස්-උදහස් ඉතා වැදගත් කොට සලකමු.
නම්‍යශීලි සුහද පිළිවෙතකින් එම සාධනීය මඟ පෙන්වීම හා අදහස භාරගෙන දුවන-පනින හැදෙන- වැඩෙන ඔබේ දූ දරුවන්ගේ අත්දැකීම් වඩාත් ප්‍රායෝගික හා අරුත්බර කර ගනිමින් පන්ති කාමරයේ සතුටින් රඳවා ගැනීමේ වගකීම අප භාරගෙන තිබේ.
ආදරණීය දුවේ පුතේ, මව් ඇකයෙන් මිදී ගුරු දෙමාපියන් වෙත පා තබන ඔබගේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා’යි මම ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය
උපුටා ගැනීම අවසන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...