උපාලි කොළඹගේ
කොළඹ LNW:ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර අප හැරදා නික්ම ගියේය. එහෙත් ඔහු පිළිබඳ මතකයන් සදා නොමියනු ඇතයි සිතමි. ඔහු එතරම්ම සුවඳවත්ය සදා නොමියෙන සුළුය.
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටි ඉතාමත් ජනප්‍රිය මෙන්ම විශිෂ්ට ගණයේ ආචාර්යවරයෙකි. පොතේ පතේ දැනුමට අමතරව බාහිර දැනුම සිසුන් අතර බෙදා දීමට යුහුයුහුව ක්‍රියා කළ සම්භාවනීය ආචාර්යවරයෙකි.
එතුමා දීප්තිමත් වාමාංශිකයෙකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. උග්‍ර මත ගැටුම් මත ඉවත්වන තුරු මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය දැරීය.
මයිකල් ප්‍රනාන්දු මහතා කලා විචාරකයකු වශයෙන්ද අනූපමය සේවයක් කර ඇත. ඔහු නාට්‍ය කලා විෂය පිළිබඳව දැරවේද සම්භාව්‍ය අදහස් සමුච්චයකි.
එහෙත් එතුමාගේ අභාවයෙන් පසු අදහස් දක්වන විද්වතුන් මයිකල් මහතාගේ දේශපාලන පසුබිම ගැන පමණක් අදහස් දැක්වීම අඩුවකැයි සිතමි.
මා හා ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා අතර ඇසුර කෙටිය. නමුත් සුන්දරය. මට ඵතුමා පිළිබඳව ඇත්තේ සරල නමුත් ප්‍රබල මතකයන් කිහිපයකි. ඒවා පෞද්ගලික සුළු සිදුවීම් ලෙස ඉවත දැමිය හැකි වුවත් මෙතුමාගේ මානුෂවාදී බව තේරුම් ගැනීමට ප්‍රමාණවත් යැයි සිතමි.
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා මා හඳුනා ගත්තේ එතුමා ඇත්ත පත්‍රයේ කතුවරයා වශයෙන් කටයුුතු කරද්දීය. ඔහුට මා හඳුන්වා දුන්නේ මාධ්‍යවේදී ශ්‍රී ලාල් සෙනවිරත්න ය. පසුව ඔහු මගේ සොහොයුරා ( අශෝක කොළඹගේ ) ගේ මිතුරකු බවද දැන ගන්න ට ලැබිණ. කෙසේ වුවත් එතුමා ඇත්ත කතුවරයා වශයෙන් සේවය කළ කාලය තුළ මගේ මාධ්‍ය දායකත්වය ලබා ගැනීමට එතුමා කටයුුතු කළේය. ඵතුමාට ඇත්ත කතුකම අත්හැරීමට සිදු වූයේ මට ලිපි සඳහා ගෙවීමට පොරොන්දු වූ මුදල් ගෙවන දිනයට ඔන්න මෙන්න කියා තිබියදීය. නමුත් මයිකල් මහතා තම ආත්ම ගෞරවයවත් නොතකා තමාවද ඉවත් කළ කළමනාකාරිත්වය සමග ගැටී මට ලැබිය යුතු එම මුදල ලබා දුන්නේය. ඔහු මානුෂීයබව වඩාත් පැහැදිලිව මට දැනුනේ එතුමා තමන්ගේම මුදලින් ඉදිරිය නමැති පුවත් පත පවත්වාගෙන යන සමයේය. එය වාමාංශික දේශපාලනය ප්‍රවර්ධනය කළ පුවත් පතක් මෙන්ම මහින්ද රාජපක්ෂගේ දේශපාලනය නිර්දය ලෙස විවේචනය කළ සතිපතා පුවත් පතක්විය. ඔහු එහි ගෙවීම්ද බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ගෙව්වා මෙන්ම සිංහල අවුරුද්දට පෙර බෝනස් ගෙවීමක් ද සිදු කළේය. ඇත්ත වශයෙන්ම එතුමා මේ සියල්ල සිදු කළේ තම පෞද්ගලික මුදලිනි. එමෙන්ම මයිකල් මහතා සල්ලිකාරයකුදු නොවේ. සියල්ල සිදුකළේ සාමාන්‍යයෙන් රැකියාවෙන් උපයාගත් මුදලිනි. මා මෙම සරල කරුණු ගෙන හැර පෑවේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාගේ මානුෂීය ගුණාංග පිළිබඳව දැක්වීමටය.
එතුමාට මගේ අවංක ආදර ගෞරවය !


