අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW:

ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඒ විදිහෙ තව කණ්ඩායමක් මේ තරගාවලිය තුළ ඉන්නවා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම.මේ කණ්ඩායම් දෙකම නිදාගෙන ඉන්න යක්ෂයො වගේ.


පෙබරවාරි 9 දා අප තැබූ සටහනේ අප එසේ ලියා සිටියා.පහතින් තිබෙන්නෙ ඒ සටහනට පිවිසෙන මඟ.
https://sinhala.lankanewsweb.net/02/08/248459/
අප විසින් පැවසූ අනාවැකියේ පළමු පියවර කොදෙව් කණ්ඩායම සාර්ථක කර ඇති බවයි පෙනෙන්නෙ.ඔවුන්ගේ කාණ්ඩය ඇතුළෙ ඉන්න දරුණුම ප්‍රතිවාදියා වන එංගලන්තය ලකුණු 30 න් පරාජය කරමින් සී කාණ්ඩයේ පෙරමුණ ගන්නට කොදෙව් ක්‍රීඩකයන් සමත්ව තිබෙනවා.ඔවුන්ට සිය කාණ්ඩයේ ඉතිරිව තිබෙන තරග දෙක ඇත්තේ ඉතාලියට සහ නේපාලයට එරෙහිව නිසා ‘ක්‍රිකට් බයි චාන්ස්‘ යන්න කෙතරම් පරමාදර්ශී වි හැකි වුවත්,මේ කණ්ඩායම්වල ඉතිහාසය සහ හැකියාව ගැන සිතන විට කොදෙව් කණ්ඩායම එම තරගය අත් හරින එකක් නැහැ කියා සිතීම සියයට 80 ත් වඩා සාධාරණයි.


ලෝක කුසලාන තරගාවලියේ ගෙවුණු තරග දෙක දිහා බලද්දි,මෑත කාලයේ දැකපු කොදෙව් කණ්ඩායම වෙනුවට ඉන්නෙ වෙනම හැඩයක කණ්ඩායමක්.මීට පෙර සාමිගේ නායකත්වයෙන් අවස්ථා දෙකකදි කොදෙව් කණ්ඩායම ලෝක කුසලානය දිනන විට දැකපු අමුතු ගැම්ම, පුහුණුකරු සාමිගේ කණ්ඩායම තුළත් දකින්නට තිබෙන බව කිව යුතුයි.කොදෙව් කණ්ඩායම එංගලන්තයට එරෙහි ජයග්‍රහණයේදී පැහැදිළි කළ එක දෙයක් තමයි තමන්ට තරම් පහසුවෙන් පන්දුව ඉහළින් හතරේ සීමාවෙන් එහාට තැබීමට හැකි පිතිකරුවන් වෙන කණ්ඩායම්වල නැති බව.ලකුණු 196 ට කොදෙව් ක්‍රීඩකයන් හයේ පහර 13 ක් එල්ල කරනවා.ඒවා කෙතරම් පහසුවෙන් සීමාවෙන් එපිට තබනවාද කියන කාරණය ඔබට යුටියුම් හරහා හෝ දැක ගැනීමට මාර්ග ඇති.


විශේෂයෙන් කොදෙව් ඉණිම තමා වටා ගොඩ නැඟූ ෂෙර්ෆේන් රද්ර්ෆෝර්ඩ් නොදැවී රැස් කළ ලකුණු 76 සඳහා එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 7 ක්.අවසාන භාගයේ රදර්ෆෝර්ඩ්ට සහය වූ ජේසන් හෝල්ඩර් හයවන කඩුල්ලට ලකුණු 61 ක සබඳතාවයක් ඇති කරන්නට පමණක් නොව පන්දු 17 න් ලැබූ ලකුණු 33 ට හයේ පහර 4 ක් ම එල්ල කරන්නටත් සමත් වෙනවා.


මේ කොදෙව්මය විස්තරයට සමාන්තරව යක්ෂ කුලයේ තැබූ ශ්‍රී ලංකාවටත් අද ඕමානය සමඟ තරගයක් තිබෙනවා.මේ වන විට ඇහිපිල්ලමක් ගහන වෙනසකින් වුව ඕනෑම යෝධයෙකු බිම දැමීමට තරම් ශක්තිමත් බව විස්සයි විස්ස ව්‍යහුය ඇතුළෙ අයිසීසී පූර්ණ සාමාජික නොවන රටවල් අනතුරු හඟවමින් ප්‍රබලයන්ගේ ලේ වතුර කරමින් ඉන්න මොහොතක් නිසා ශ්‍රී ලංකාව ඕමානය දෙස සැළකිල්ලෙන් බැලිය යුතුයි.විශේෂයෙන් අපේ පොළවේ අල ගිය මුල ගිට තැන් දන්න,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් විශාරදයෙක් වන දුලිප් මෙණ්ඩිස් ඕමාන පුහුණුකරු විම නිසා සැළකිල්ල දෙගුණ තෙගුණ විය යුතුයි.


කොදෙව්වන්ගේ යක්ෂයා මේ වන විට යක්ෂාරූඨව තමන්ගේ කාණ්ඩයේ සිටින ප්‍රබලම ප්‍රතිවාදීන්ගේ ගෙල සිඳ අවසන් වුවත්,ශ්‍රී ලංකාවට යක්ෂයාගේ භයානකම ස්වරූපය මතු කර ගන්න වන්නේ ක්‍රමිකව ඉදිරියටයි.ප්‍රබලම තර්ජනය වන ඔස්ට්‍රේලියාව හමුවන්න තිබෙන්නේ අවසාන ප්‍රතිවාදියා ලෙසයි.එහෙත් යක්ෂයෙකු ලෙස ප්‍රතිවාදියා ඉදිරියේ ඔහුව ගොදුරු කර ගැනීමේදී ඕමානය දෙස පොඩියට බලන්නට බැහැ.එහෙම වුණොත් මුනිදාස කුමාරතුංගයන්ගේ හීන්සැරයේ අලියාට වූ දෙය ලංකාවටත් විය හැකියි.එබැවින් හැමවෙලාවෙම යක්ෂාවේශය නිද්‍රාවට ලක් නොකර සිටින්නට ශ්‍රී ලංකා බල ඇණිය කල්පනා කළ යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...