Home පුවත් ක්‍රී​ඩා උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

0
5

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW:

උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික සංසර්ගයන් සමඟ ගොඩක් සමීපයි.ඒ හා සම්බන්ධයන් සංසරණය වූ මාතෘකා පස්ගෝ රස වගේ.මුලින් මිහිරට දැණුනට දැන් දනවන්නෙ තිත්ත අතීතයක නීරසයි,වර්ථමානයට අදාළ පල් රසයි විතරයි.උගන්ඩාවේ කැට්වේ ආසන්නයෙ අඩු පහසුකම් වීදී නිවාසවල හැදුණු වැඩුණු ෆියෝනා උගන්ඩාව හා බැදුණු සරල සිල්ලර දේශපාලන කතාවලට වඩා අපේ ජීවිතයට වැදගත් වෙනවා.එහි එන ෆියෝනා,අපි රස විඳින ප්‍රබන්ධ නිර්මාණ ලෝකයේ ෂෙර්ක් සමග හමුවන රජ කුමරිය ෆියෝනාට වඩා අපිට අපිව හොයාගන්න පාර පෙන්විය හැකි යථාර්තයක්.ඒ සම්බන්ධයෙන් සිනමා පටය ‘Queen of Katwe ‘ නිර්මාණය කළ මීරා නායර් මෙන්ම ඇයගේ පුතා නිව්යෝර්ක් නගරාධිපති වීමේ කතාවත් අපූරු දේවල්.


මේ කතා ටික ලියන්න හේතු වුණේ කාගෙ හෝ ආයෝජනයන් නිසි පරිදි ජනතාව වෙනුවෙන් භාවිතා කළා කියා සිතිය හැකි නූතණ උගන්ඩාව ආර්ථික වශයෙන් සහ පිළිවෙල අතින් ද,රාජ්‍යය තුළ දැකිය හැකි කැපවීම තුළින් ද ලංකාවට වඩා දිස්නෙ ගහන මොහොතක උග්නඩාව කරන වැඩක ලංකාවේ කොල්ලෙක් අංක එකේ ඉන්නවා.ඒ උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වී පාර්ශවික සබඳතා වැනි දේශපාලනික සහ ජාතික වූ වැඩ පිළිවෙලක ආධාරයෙන් නොවේ.ලෝකයේ ඔහුගේ දක්ෂතා පවතින මට්ටම සළකා උගන්ඩාවටවත්,ශ්‍රී ලංකාවටවත් පාලනය කළ නොහැකි,අන්තර්ජාතික වශයෙන් වැදගත් ශ්‍රේණිගත කිරීමකින් ඒ අවස්ථාව දිනා ගෙන ඉන්නෙ විරේන් නෙත්තසිංහ.
ශ්‍රී ලංකා බඅඩ්මින්ටන් ජාතික සූරයා වන විරේන් ලෝක ශ්‍රේණිගත කිරිම්වල 74 වන තැන සිටිනවා.ඔහු තමයි මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා.


උගන්ඩා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලියේ දි අංක එකට ශ්‍රේණිගතවීම ගෞරවයක් වුව ද,මෙහි ජයග්‍රහණය පහසු නැහැ.ඒ බැඩිමින්ටන් ක්‍රීඩාවට යලට මහට කවුරුන් හෝ ක්‍රීඩාවට ලැදි සහ නිවැරදි කළමණාකරණ හැකියාවක් ඇති අයෙකුගේ වැඩ පිළිවෙලක් යටතේ ශ්‍රී ලංකාවෙන් විරේන් වැනි ක්‍රීඩකයින් නිර්මාණය වුණත්,විශාල ක්‍රීඩා සංස්කාතියක් ඇති රටක ක්‍රීඩාවේ පැවත්ම නිශ්චලව පවතින්නේ ක්‍රමයේ ඇති ස්ථාවරත්වය මතයි.ශ්‍රී ලංකාවේ විරෙන් වැනි ක්‍රීඩකයෙක් නිර්මාණය කරන්නට රොහාන් ද සිල්වා සිය පෞද්ගලික ධනයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන්වලට දුන් දායාදය ඔහු තනතුරෙන් ඉවත්විමත් සමගම සම්පූර්ණයෙන්ම පාහේ නැවතුණු තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා.ඒ සංස්කෘතියක් ඇති රටක සහ පුද්ගලයෙක් තනිව රැඟෙන යන ක්‍රීඩාව අතර වෙනසයි.


ඒ නිසා විරේන් මේ ලබා ගන්නා අංක එක රටක් හැටියට තිබුණ වැඩ පිළිවෙලක අග්‍රපලයම කිව නොහැකියි.ඔහු,ඔහුගේ පවුල සහ රොහාන් ද සිල්වා බැඩිමින්ටන්වලට දුන් නායකත්වය කියන සීමාවන්ට අදාළ වෙනවා.රොහාන්ට බැඩිම්න්ටන්වලට මඟ පෙන්වන්නට සිඳු වුව ද,ඉහළ සම්පත් ධාරිතාවයක්,වැඩ පිළිවෙලක් සහ සංස්කෘතියක් විදිහට ක්‍රීඩාව පවතින සමාජයක රොහාන්ට මේ නායකත්වය මීට වඩා පහසුවෙන් දීමට මෙන්ම ඔහුගේ හැකියාවෙන් මීට වඩා ප්‍රතිපල ලබන්නටත් හැකියාව තිබුණා යැයි පැවසීම සාවද්‍ය ප්‍රකාශයක් නොවේ.


එසේම වර්ථමානයේ අංක එකේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාව රනිත්මා ලියනගේ ද මේ තරගාවලියට සහභාගි වන අතර ඇය ලෝක මට්ටමේ සිටින්නේ 103 වන තැනයි.මේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරිම්වලදී ඇය සිටින්නේ පස්වන තැනයි.එහිත් රොහාන්මය සළකුණ සටහන්ව තිබෙනවා.ඔහු ඇයගේ අනුග්‍රාහකත්වය දරණ අතර ශ්‍රී ලංකාව මේ දක්වා බිහිකළ සුපිරිම බැඩිමින්ටන් ක්‍රීඩකයා හැටියට ලෝකයම හඳුන්වන නිලූක කරුණාරත්න ඇයගේ කළමණාකරු ලෙස සහ නිලූකගේ සහෝදරයෙකු වන ජාතික අනු සූරයා ලෙස කලක් සිටි දිලූක කරුණාරත්න ඇයගේ පුහුණුකරු ලෙස මැදිහත්ව,රනිත්මා එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් පුහුණුවීම් කිරිමත් ඊට හේතුවක් ලෙස ගත හැකියි.


එසේම මේ තරගාවලියේ පිරිමි අංශයේ අංක 6 ට සිටින ක්‍රීඩකයා ද ලාංකික ක්‍රීඩකයෙකු වන දුමිදු අබේවික්‍රමයි.ඔහුත් ජාත්‍යන්තර මට්ටමෙන් 101 වන ස්ථානයේ පසු වෙනවා.මේ සියල්ල ගෙවුණු රොහාන්මය පාලනය විසින් ලබා දුන් පන්නරයේ ප්‍රතිපලයි.මේ තත්ත්වය වඳ වෙමින් යන බව දැක දැක ක්‍රිඩාව ඉහළින් හුසුරුවන අය නිහඩව සිටීමත් කණගාටුදායකයි.මේ බරපතල වගකීම සම්බන්ධයෙන් වත්මන් සභාපතිවරයාට මඟ හැරි ඇති තැන් අවබෝධ කර දි සහ ඒවා පහදා දී අධික්ෂණය කරමින් නැවත ශ්‍රී ලංකා බැඩිමින්ටන් නැඟිට්ටුවාලන්නට සහ ඒ වැඩ සැළසුම් නිවැරදි දැක්මකින් අධික්ෂණය කරන්නට අමාත්‍යංශයමය නොවන,ස්වෙච්ඡාවෙන් කැපවෙන අයෙකු පත් කළ හැකිනම් වැදගත්.මේ තරගාවලියේ ශ්‍රේණිගත සටහන සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත සටහන බලා වුව මේ වගකීම අමාත්‍යංශයට සහ අමාත්‍යවරයාටත්,නියෝජ්‍ය අමාත්‍යවරයාටත් තේරුම් ගත හැකියි.මෙවැනි තැනකට හුදෙක් පුද්ගලයෙකුගේ මඟ පෙන්වීම සහ කැපවීම මත බැඩ්මින්ටන් පැමිණ තිබීම එය රැක ගැනීමට සුදුසු ක්‍රමයක් යටතේ නඩත්තු කිරීමවත් කරන්නට ක්‍රීඩා පාළකයන්ට හිත තිබිය යුතුයි.


මේ සටහන ආරම්භයට කැට්වේ ගෙනාවේම ඒකයි.පුළුවන්නම් මේ කියන දේ Queen of Katwe යන එම චිත්‍රපටය නරඹා හෝ බලධාරින් තේරුම් ගන්නේනම් වැදගත්.ඒ පුහුණුකරුගේ හදවත,උනන්දුව සහ කැපවීම පරිපාලනයට බද්ධ කරන්න උත්සාහ ගන්න.ඉතිං අංක එකට සිට උගන්ඩානු ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දෙන විරේන් අංක එක වීම වගේම දුමිදු සහ විරේන් අතර අවසාන තරගයක් යන්නත් පිළිබඳව සිහිනය අවසානයේම ඇති උත්තරීතර වූ ජාතිකමය හැඟීම, කම්පාලා නුවර ලුගෝගෝ ගෘහස්ත ක්‍රීඩාංගණය ඉහළින් සිහ ධජය කාගේ නමින් හෝ ඉහළින්ම එසැවෙන මොහොතක් වීම අපේ අභිප්‍රාය ය.කාන්තා අංශයේදි ද රනිත්මාට එව කළ හැකි බවත් එය වනු ඇති බවත් විශ්වාස කර ගනිමින් උගන්ඩා තරගාවලිය නියෝජනය කරන ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාටම අපි හදවතින්ම සුබ පතන්නෙමු.