රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :
මේ වනවිට මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම මිනී මැරුමෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ බවට වාර්තා වේ.
මෙම අභියාචනය කැඳවනු ලැබුවේ, ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, එහි විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට දින නියම කළ බව වාර්තා වේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම මඟින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.
අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බැවින් එය බල රහිත කර දඩුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.




