ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මෙරට මුහුදු සීමාව අසල පවතින IRIS Bushehr ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලයේ 208 දෙනා මෙරටට ඇතුළු කරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
එම පිරිස රටට ඇතුල් කරගැනීමේ කටයුතු වලින් පසු එම නෞකාව මෙරට නාවික සහයද සහිතව ත්‍රිකුණාමලය වරායට ගෙන යාමට නියමිත බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.
එමෙන්ම අදාළ නාවික කාර්ය මණ්ඩලය වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යෑමට නියමිතයි.
මේ අතර එම නෞකාවේ දරුවන් 300ක් සිටින බවට වන ප්‍රකාශයද ජනාධිපතිවරයා විසින් ඉරාන නෞකාවේ ළමුන් 300 දෙනෙකු සිටින බවට සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන ලදී.
මද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කලාපයේ පවතින ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන ලදී.
සංවේදී කාල පරිච්ඡේදයක් තුළ වගකිවයුතු හැසිරීමක අවශ්‍යතාවය අවධාරණය කරමින්, පටු දේශපාලන වාසි සඳහා වත්මන් තත්ත්වය උපයෝගී කර ගැනීමෙන් වළකින ලෙසද ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙරට භූමිය, මුහුදු සහ ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවට පත්වන ආකාරයට කටයුතු කිරීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ.
“ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙනදෙන ආකාරයේ කටයුතු කරන්න ඉඩදෙන්නේ නැහැ. එ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ නෞකාවන් දෙකක් පිළිබඳව ප්‍රශ්නය මතුවී තිබෙන්නේ එහිදීත් අපි අනුගමන කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. ඒ වගේම ජාතියක් සහ රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථාභාවය ආරක්ෂාකරන ගමන් මනුෂ්‍යත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේතම පැකිලෙන්නේ නැහැ මනුෂත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ” යනුවෙන්ද ජනාධිපතිවරයා පවසන ලදී.




