Home පුවත් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවක තුන්වැනි සැකකරු වශයෙන් නම්කරයි

සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවක තුන්වැනි සැකකරු වශයෙන් නම්කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) කටයුතු කර තිබේ.

ඒ, ඔහුව අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමිනි.

2018 වසරේදී වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන නොමග යැවීම සහ සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 35882/24 නඩුවේ තුන්වැනි සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම්කරන බව එහිදී CID නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු, මහෙස්ත්‍රාත්වරයාට සුදුසුයැයි හැඟෙන දිනයක එම දෙපාර්තමේන්තුවට පැමිණ නිරීක්ෂණය කරන ලෙස CIDය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු දැක්වීම් අධිකරණය හමුවේ ලිඛිතව සටහන්කර තැබීමට නියෝගකළ මහෙස්ත්‍රාත්වරයා නුදුරු දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකරු නිරීක්ෂණය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ සුරේෂ් සලේව අත් අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි 25 වනදා ය. අනතුරුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත ප්‍රකාරව දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබාගෙන තිබිණි.

පෙරේදා (04) දිනයේදී ඔහුගේ නීතීඥයින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගැනීමේ නියෝගය ඉහළ අධිකරණයක අභියෝගයට ලක්කිරීමට සදහා මේ සම්බන්ධ නඩුවල සහතික කළ පිටපත් ලබාදෙන ලෙසත් එමෙන්ම සිය සේවාදායකයා හමුවීමට තමන්ට අමතර දිනයක් ලබාදෙන ලෙසත්, ඔහුට නිවසින් ආහාර රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් ය.

මෙහිදී අදාළ නීති කෘත්‍යයන්හි සහතික පිටපත් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළද අනෙකුත් ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් CIDය එතෙක් අධිකරණයට කරුණු වාර්තාකර නොමැති බව පවසමිනි.

CIDය සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ඔහු නඩුවක සැකකරුවකු වශයෙන් නම්කිරීමට ඊයේ කටයුතු කළේ එවන් පසුබිමක් තුළය.