මාර්තු 19, කොළඹ LNW :
ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙන පසුබිමක දුප්පත්කම සහ ආදායම් අසමතුලිතභාවය ජන ජීවිතයට තවදුරටත් බලපෑම් කරන බවත් ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් දුප්පත්කම බහුමාන ආකාරයෙන් ප්‍රකාශ වන අතර එය ජාතික සංවර්ධනට බාධාවක් වන මූලික ගැටලුවක් ද වන බවත් ශ්‍රී ලංකාවේ දුප්පත්කම ගැන වත්මන් තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 -2 යටතේ ප්‍රශ්න කරමිනි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් පෙළෙන ජනතාව දිස්ත්‍රික් වශයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් මැදපෙරදිග යුද්ධය සහ බඩුමිල ඉහළ යාම නිසා වර්ධිත දුප්පත්කම ගැනද දත්ත ලබා දෙන ලෙසත් රජය විසින් දුප්පත්කම නිර්වචනය කරන ආකාරය සහ මේ තුළින් රටට ඇති බලපෑම ගැන රජයෙ තක්සේරුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාතික දරිද්‍රතා රේඛාව සහ බහුමාන දරිද්‍රාතා දර්ශක නිර්මාණය හා මිණුම් කිරීමට භාවිත දර්ශක හා නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසත් යුද්ධය නිසා වන බලපෑමද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
දුප්පත්කම ජාතික ආර්ථිකයට කරන බලපෑම ගැන රජය විසින් කළ අධ්‍යයන හා දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂක වැඩසටහන් හා ආදායම් වැඩි කිරීමේ වැඩසටහන් මෙන්ම එහි ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් දුප්පත්කම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව රජය පිළිගන්නේද කිය දැන ගැනීමට අවශ්‍ය බවත් අස්වැසුම නම් දුප්පත්කම තුරන් කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් මෙවැනි නව ප්‍රතිපත්තියක් සකස් කර ඇත්නම් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අවදානමට ලක්වු කොට්ඨාස ඇති නිසා මේ අය ගැන රජය ගන්නා පියවරත් බහුමාන දුප්පත්කම තුරන් කරන රජයේ කෙටි මධ්‍ය හා දිගු කාලීන ප්‍රතිපත්ති ඉදිරිපත් කරණ ලෙසත් මේවා අද පවතින යුධ ගැටලුව ඉන්ධන ගැටලුව ආදිය නිසා වැඩි වී ඇති දුප්පත්කම ගැන දත්ත ද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.





