ආපනශාලා ආහාර මිල ඉහළ දැමීමේ තීරණයක්!

රෂිකා හෙන්නායක මාර්තු 31, කොළඹ LNW :

ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් ආහාර පානවල මිල ගණන් ඉහළ නැංවීමට තීරණයක් ගෙන ඇත.

ඒ අනුව, බත්, කොත්තු සහ කෙටි කෑම ඇතුළු ප්‍රධාන ආහාර වර්ගවල මෙන්ම තේ පානයන්හි මිලද නිශ්චිත අගයකින් ඉහළ දමා ඇත.

මෙම මිල සංශෝධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද විදුලි ගාස්තු ඉහළ දැමීමයි.

ඒ අනුව, අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන අතර, එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය. මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ. 

අප්‍රේල් මස 1 වෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවද ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. 

ආපනශාලා ක්ෂේත්‍රය දිගටම පවත්වාගෙන යාම සඳහා මෙලෙස පිරිවැය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය පියවරක් බව එම සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ව්‍යාපාරික ස්ථානවල විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආර්ථික පීඩනය දරා ගැනීමට සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.