අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා…

රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW :

සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මක කිරීමට රජයේ ආයතන කිහිපයක් තීරණය කර ඇත.

මේ යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අප්‍රේල් 09 වනදා සිට අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක් කරන අතර, අවශ්‍යතාවය අනුව තවදුරටත් බස් රථ යෙදවීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සූදානමින් සිටී.

මෙම විශේෂ බස් සේවාවන් අවුරුදු නිවාඩුව අවසානයේ ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අප්‍රේල් 21 වනදා දක්වාම ක්‍රියාත්මක වේ.

මීට අමතරව, දුම්රිය දෙපාර්තමේන්තුව ද ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ අප්‍රේල් 10 වනදා සිට විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙලෙස ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම හරහා උත්සව සමයේ මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම බලධාරීන්ගේ ප්‍රධාන අරමුණයි.