ලංකාව දියුණු කළ හැකිද ?

මාක්ස්ට අනුව ආර්ථිකය, දේශපාලනය, චින්තනය මේ සියල්ල නැග එන්නේ භෞතික ව්‍යුහයේම සුපර් ස්ට්‍රක්චර් එකක් විදියට.

ඒනිසාම ලංකාව කියන රට හුදකලා දුපතක් විදියට එහි ඇති පිහිටීම, භූමියේ සීමිතබව, උඩට මතුවෙන හැමවිටම කප්පාදු කිරීමට සූදානමින් සිටින දැවැන්ත රාජ්‍යයක් කිලෝමීටර තිස් දෙකක් දුරින් පිහිටා තිබීම යන සාධක නිසාම ලංකාව කවදාවත් සංවර්ධිත රාජ්‍යයක් විදියට තිබ්බෙත් නෑ, දැනුත් නෑ, අනාගතේවත් එහෙම වෙන්ට විදියකුත් නෑ..

ඉතිහාසයේ නාවික ගුවන් තාක්ෂනය නොතිබූ යුගයේ ලංකාව ලෝකය සමඟ යාවත් කාලීන නොවී සියවස් ගානක් හුදෙකලාවී එක තැන පල් උනා.. සොබාදහමේ මොනම අභියෝගයක්වත් නැතිවීම නිසාම මේකෙ පැරන්නන් තව කම්මැලි උනා මිසක් කවරදාකවත් නිර්මාණශීලී උනේත් නෑ.. අපේ මුතුන් මිත්තො සසරින් එතරවෙන්ට බැලුවා මිසක් ආර්තිකයෙන් එතෙරවෙන්ට බැලුවේ නෑ.

මේකෙ බූමිකම්පා නෑ, ගිහිකඳු නෑ, කලට වැසි වැටෙනවා මේක මහ නිධානයක් කියලා අදටත් ජාතිකවාදියො කයිවාරු ගැහුවට අපිට හෙණේට හිටියෙත් ඒ ඊනියා සන්සුන් සශ්‍රීකකමම තමා. අභියෝග නැති ජාතීන් එකදිගට කුසීතව නිදාගන්නවා මිසක් එක අඩියක් ඉස්සරහට යන්ට බලන්නෙ නෑ..

අපි කයිවාරු කෙලින අපේ ඉතිහාසයෙන් මතුවූ හා මතුවෙන සියලු නටඹුන් පවා අනිත්‍යය වෙත අපව රැගෙන යන උග්‍ර ආගමික මූලද්‍රව්‍ය..

ඉතිහාසය තුලදී යම් පමණකට හරි අපි යාවත්කාලින උනා නම් ඒක උනෙත් බලහත් කාරයෙන් මෙහෙට කඩාවැදුණු ආක්‍රමනිකයන් නිසා..එතෙන්දිත් අපි උන්ගෙන් ගත්තේ අපිට ගැලපෙන කම්මැලි විස්වාස ටික විතරයි.. අනිත් ඒවා මල්ල ලිහන්නෙ නැතිවම බැහැර කරා..

ඉතිහාස පොතේ අපි ආක්‍රමනිකයට එරෙහිව කරපු යුද්ධ ගැන මහ ඉහලින් ලේඛනගතකරලා තිබ්බට ඇත්ත ඒකම නෙමේ. ඇත්තටම රටේ කෑලි අල්ල්ගන්ට විටින් විට මෙහෙට ආවේ ඉන්දියානු මංකොල්ල නඩ සහ සංවිධානය වූ චෞර රංචු මිසක් කවදාවත් ඉන්දියාවේ රජවරු මේක අල්ලන්ට ආවේ නෑ.. එතෙන්දිත් අපේ රජවරු ඒ චෞර රංචු සමග පවා යුද්ධකරනවට වඩා කරේ තමන්ගේ රාජධානියත් අරන් තැනින් තැනට පැනලා ගිය එක.. අන්තිමේදී මේ පැන පැන හැංගි හැංගි ගිය ගමනත් මහනුවරින් චුතවෙලාම ගියා..

මම හිතන්නේ සියවස් ගානක් තිස්සෙ අපි මේ ආපු උදාසීන, තමන්ටම තමන් වංචාකරමින් ආපු ගමන එක්තරා පරිසමාප්තියකට, ඩෙඩ් එන්ඩ් එක්කට දැන් ඇවිල්ලා ඉන්නවා..

මගේ විස්වායට අනුව අපේ සහෝදර මාළිමා ආන්ඩුව තමා පෙට්ටිට අන්තිම ඇනේ ගහන්නෙ. මාළිමා ආන්ඩුවේ සම්ප්‍රාප්තිය සිදුවෙලා වසර එකහමාරක් ඉක්බිත්තෙන් අපිට ජාතික වැඩපිලිවෙලක් විතරක් නෙමේ එක දසමයකවත් විකල්පයකුත් නැතිබව බඩේ බත් වගේ මට තහවුරුයි..

බැරිකම, උදාසීනකම පමණක් නොව හොරකම පවා අපගේ පොදු ජානගත ලක්ෂණයක් බව සාක්ෂාත්කරගන්ට මේ ගතවෙන විකාරසහගත මොහොතම හොඳටම ප්‍රමාණවත් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ