ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (07) මධ්යම රාත්රියේ දිවයිනට පැමිණ තිබේ.
වියට්නාම ජනාධිපතිවරයා සමග 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරටට පැමිණ ඇත. ජනාධිපතිවරයා ඇතුළු මෙම දූත පිරිස ශ්රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරයක නිතරව සිටි අතර, ඒ අනුව ඔවුන් මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්රියේ කටුනායක වෙත පැමිණ තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි රාජතාන්ත්රික නියෝජිත පිරිස අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම් රජයේ ජ්යෙෂ්ඨ අමාත්යවරු ඇතුළු ප්රමුඛ දේශපාලන නායකයින් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.


