උපාලි කොළඹගේ
කොළඹ LNW:ගිහියන්ට අකැප භික්ෂූන් වහන්සේ විවේචනය මිස සිවුරු රඳවන ගැන මත පලකිරීම නොවන බවයි මගේ අදහස. ඇත්ත වශයෙන්ම ශෝචනීයයි. කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ ඇතිවෙලා තියෙන තත්ත්වය. සඟ සසුන මෙතරම් පරිහානියට පත්වූ යුගයක් මෑත ඉතිහාසයේ නම් තිබුණේ නැහැ.
දුරාතීතයේදී වුවත් එවැනි අභාග්‍ය සම්පන්න යුගවලදී මහ සඟ හිමිවරුන් මෙන්ම රජවරුන් ඊට මැදහත්ව එම තත්ත්වය සමනය කළා මිස වර්තමානයේ මෙන් සියල්ල මුහුණු පොතට භාරදී බකන්නිලා ගෙන හිටියේ නැහැ. ඉඳහිට හුදකලාවේ ඇහෙන මීක් සද්දයක් මිස පරිහානියෙන් සඟ සසුන එතෙර කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව හරිහමන් මැදිහත් වීමක් දක්නට ලැබෙන්නේ නෑ. බොහෝ විට වරද පැට වෙනුයේද වරද කළවුන් ට නොව බලා ගෙන සිටිය වුන්ටය. සංඝ ශාසනය කියන්නෙ බුදු සසුනෙ කොඳු නාරටිය. හංසයාටවත් ඒ දෙක වෙන්කරන්න බෑ.
කණගාටුවෙන් වුණත් වනචාරියා මදිවට වනචරයකුත් කියල කියන්න සිදුවෙලා තියෙනවා. මේ කිසි අපචාරයකට ගෑවිලාවත් නැති ජීවමාන බෝධීන් මෙන් පාරිශුද්ධ සංඝ පීතෲන් වහන්සේ සිටිනවා. හැබැයි උන්වහන්සේලා මේ සිද්ධීන් දිහා ඇහැ ඇරලවත් බලන්නෙ නෑ ඔන්න ඔතනයි වැරැද්ද .
ඕනෑම වරදක් කරන අය වගේම ඒවා දැක දැක නිහඬව ඉන්න අයත් ඊට වගකිව යුතුයි. ඒක තමයි සමාජ සම්මත යතාර්ථය.
කොහොම වුණත් මෙයට වර්තමානයට ගැලපෙන විසඳුම නම් සඟ සසුන කිසියම් නීති රාමුවකට යටත් කිරීමයි. ඒ කියන්නෙ කිසියම් භික්ෂූන් වහන්සේ නමක් විනය නීති උල්ලංඝනය වන සේ හැසිරෙත් නම් එම හිමිනමට වරදට ගැලපෙන දඬුවමක් දීමේ නීත්‍යනුකූල බලයක් බලයලත් හිමිවරුන්ට පැවරෙන සේ නව නීති පද්ධතියක් සැකසිය යුතුය. මා මෙහිදී දඬුවමක් කියා සඳහන් කළේ භික්ෂූත්වයෙන් පිටමන් කිරීම වැනි එම පද්ධතියට අයත් ක්‍රියාවකි.
මෙවැනි නීති පද්ධතීන් පිළිබඳව විටෙන් විට සාකච්ඡා වුවද ඒවා ක්‍රියාත්මක වූයේ නැත. නිකාය බේදය,ජේෂ්ඨත්වය වැනි සකලවිධ භේදයන් මීට හරස්වනවා දැයි දන්නෙ නෑ.
නමුත් මෙය අර්ධ අධිකරණ පද්ධතියක් මිස පූර්ණ අධිකරණ පද්ධතියක් නොවිය යුතුය.
බොහෝ විට සාමාන්‍ය අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු සිදුවිය යුතු සංඝ විනය සවිබල ගැන්වීමේ නව ක්‍රියාමාර්ගයක් පමණක් විය යුතුය. ඒ කියන්නෙ භික්ෂූන් වහන්සේ සඳහාද සාමාන්‍ය ලෙස රටේ නීති පද්ධතිය ක්‍රියාත්මක විය යුතු අතර ඊට අමතරව විනය ක්‍රියා මාර්ග ගැනීම වඩාත් නීත්‍යනුකූලව සිදුවිය යුතු බවය මා අදහස් කරන්නේ.
නොඑසේව භික්ෂූන් වහන්සේ පිළිබඳව සියලුම නඩු සංඝාධිකරණයක් මඟින් සිදු විය යුතු යන අදහස නම් කිසිසේත්ම අනුමත කළ නොහැක. එහෙම කළොත් එය ක්‍රමයෙන් ඉබ්බා දියේ දැමීමකට සමාන වනු ඇත.


