රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :
පසුගිය මැයි 16වන දින සිට 22 දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ දී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ප්‍රමිතීන්ට අනුකූලව සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව මහජන සෞඛ්‍ය ගැටළුවක් වූ මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කරමින් එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගත්තා වු ප්‍රගතිය විශේෂ ඇගයීමට ලක්කරනු ලැබීය.
ඊට අදාළ ඇගයීම් සහතික පත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත එම සමුළුව පැවැත්වෙන අවස්ථාවේ පසුගිය මැයි 19වන දින ප්‍රදානය කරනු ලැබීය.
ශ්‍රී ලංකාවට එවන් ජාත්‍යන්තර ඇගයීමක් සහ කීර්තියක් අත්කර දීමට අඛණ්ඩ කැපවීමක් සිදුකළා වු මෙන් ම ඒ සඳහා විවිධ ආකාරයෙන් දායක වූ නිලධාරීන් විශේෂ ඇගයීමකට ලක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (01) පස්වරුවේ දි පියවර ගනු ලැබීය.
මෙහි දී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිතා තෙන්නකොන් මහත්මිය ඇතුළු එම අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඇතුළු එම අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවූ අමාත්‍යවරයා ඔවුන් ඉටුකළ සහ ඉටුකරමින් සිටින්නාවූ සේවය විශේෂ ඇගයීමකට ලක්කලේය. එමෙන්ම එම මෙහෙවර පෙරටුකරගත් සේවාවන් සහ එහි ප්‍රතිඵල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමකට පාත්‍රවීමට තරම් උසස් අයුරින් හා අඛණ්ඩව සිදුකිරීම පිළිබදව අදාළ අංශ සහ නිලධාරීන් වෙත අමාත්‍යවරයා සිය ප්‍රශංසාවත්, ගෞරවණීය කෘතවේදීත්වයත් මෙහි දී ප්‍රකාශ කළේ ය.
එමෙන්ම මෙවන් ජාත්‍යන්තර කීර්තියක් මෙරටට අත්කර දීමට දීර්ඝ කාලයක් පුරා කැප වු මෙන්ම දායකත්වය දක්වන ලද අතීතයේ සේවයේ නිරතව සිටි නිලධාරීන්ද අමාත්‍යවරයා මෙහි දී ගෞරවණීයව සිහිපත් කර සිටියේය.
අමාත්‍යවරයා සිය ප්‍රණාමය පුදකිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමන ලද සහතික පත්‍රය ද අදාළ අංශයේ ප්‍රදර්ශණය කර තැබීම සඳහා එම නිලධාරීන්වෙත භාරදෙනු ලැබීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.



