පළාත් සභා ඡන්දය පැවැත්වීමට නව නීති සම්මත කළ යුතුයි – නීතිපති දැනුම් දෙයි !

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැක්කේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව නීති මගින් පමණක් යැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවත් එම මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීමට හේතු වූ නීතිමය බාධක ජය ගැනීම සඳහා විකල්ප හතරක් ඔවුන් පෙන්වා දී ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රමවේදයක් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තෙරීම් කාරකසභාවේ සභාපති අමාත්ය විජිත හේරත් මහතා පවසා ඇත්තේ මෙහි නීතිමය තත්ත්වය දැන් පැහැදිලි බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හොඳම විකල්පය පිළිබඳව ඉක්මනින් අවසන් තීරණයක් ගන්නා බවත්ය.

“නීතිපති දෙපාර්තමේන්තුව විසින් නීතිමය තත්ත්වය පැහැදිලි කරලා තිබෙනවා. දැන් කමිටුව මැතිවරණ ක්‍රමය සහ අදාළ නීති සම්පාදනයට කාන්තා සහ තරුණ නියෝජනය ඇතුළත් කරන්නේ කෙසේද යන්න තීරණය කළ යුතු අතර එමඟින් මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්විය හැකියි” යැයි අමාත්‍යවරයා පවසා ඇත.

පළාත් සභා මැතිවරණ පනතේ 3A(14) වගන්තිය යටතේ සීමා නිර්ණ කමිටුව අවශ්‍ය කාල සීමාව තුළ තම වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බැවින් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නීතිමය අවහිරයක් පවතින බව නීතිපතිවරයා පසුගිය සතියේ තේරීම් කාරක සභාවට දැනුම් දී තිබිණි. 3A වගන්තිය යටතේ අවශ්‍ය ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කර නොමැති බැවින්, පවතින 2017 සංශෝධනය දැන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ නොහැකි බවත් නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත.

එබැවින්, හුදෙක් පරිපාලන ක්‍රියාමාර්ග හෝ නීතියේ සරල අර්ථකථනයක් හරහා මේ ගැටලුව විසඳිය නොහැකි බවත් පවතින එකම නීතිමය විසඳුම වන්නේ පාර්ලිමේන්තුවේ නව නීති සම්මත කිරීම බවත් නීතිපති දෙපාර්තමේන්තුව එහිදී පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට සලකා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති විකල්ප 4 වන්නේ,

2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අවලංගු කිරීම සහ 1988 පනත යටතේ පෙර මැතිවරණ ක්‍රමයට නැවත පැමිණීම

2017 සංශෝධනය නොතකා, පෙර මැතිවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීම

2017 සංශෝධනය අවලංගු කිරීම සහ අවශ්‍ය නම් කාන්තා සහ තරුණ නියෝජනය සඳහා විධිවිධාන ඇතුළුව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම

3A වගන්තිය යටතේ දැනටමත් ගෙන ඇති පියවර වලංගු කිරීම සඳහා පවතින නීතිය සංශෝධනය කිරීම සහ ඊළඟ අදියරෙන් සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම

2017 සංශෝධනය සම්පූර්ණයෙන්ම අවලංගු කළහොත්, එම සංශෝධනය මගින් හඳුන්වා දුන් වැඩි කරන ලද කාන්තා නියෝජනය ආරක්ෂා නොවිය හැකි බවත්, එබැවින් නව නීතියක් මඟින් වැඩි කරන ලද කාන්තා නියෝජනය ආරක්ෂා කිරීමට හෝ නැවත හඳුන්වා දීමට හැකි බවත් නීතිපතිවරයා පවසා ඇති අතර පාර්ලිමේන්තුව එසේ කිරීමට තීරණය කරන්නේ නම් තරුණ නියෝජනය ද ඇතුළත් කළ හැකි බවත් සඳහන් කර ඇත.

කෙසේවෙතත් කාන්තා සහ තරුණ නියෝජනය හුදෙක් පාර්ලිමේන්තු යෝජනාවකින් හඳුන්වා දිය නොහැකි බවත් විධිමත් සංශෝධනයක් හෝ නව පාර්ලිමේන්තු පනතක් අවශ්‍ය බවත් නීතිපතිවරයා පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ...

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...