රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :
“ද්විත්ව සුළි සුළඟින් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන” යටතේ, ඇල්ල – නමුණුකුල – පස්සර මාර්ගයේ (B/113) සංවර්ධන කටයුත ජූනි මස 08 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මඟින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. වසර ගණනාවක් පුරා ප්‍රදේශවාසීන් සහ සංචාරකයින් මුහුණ දුන් දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට තිරසාර විසඳුමක් ලබා දීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
රුපියල් මිලියන 254.65 ක දැවැන්ත ඇස්තමේන්තුගත පිරිවැයක් යොදවමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින්, අදාළ මාර්ගයේ කිලෝමීටර් 3.28 ක අතිශය අබලන් කොටස කාපට් අතුරා පූර්ණ ලෙස නවීකරණය කිරීමට නියමිතය. මාස හයක කාලසීමාවක් තුළ මෙහි වැඩකටයුතු නිම කිරීමට කාලසටහන් සකස් කර ඇත. ඒ අනුව ඊයේ (08) දින ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය එළඹෙන 2026 දෙසැම්බර් මස 05 වන දින වන විට අවසන් කිරීමට නියමිතය.
මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා සහ පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් පියසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 10 කණුව මංසන්ධිය අසලදී පැවැත්විණි. ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිත ජනතාවගේ ප්‍රවාහන සේවා විධිමත් කිරීමට මෙන්ම, දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන නමුණුකුල සහ ඇල්ල කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල පුනරුදයක් ඇති කිරීමට මෙම මාර්ගය කඩිනමින් නවීකරණය වීම මඟින් මඟ පෑදෙනු ඇත.



