කොළඹ LNW:චීනය සෑම විටම ඉරානයේ සාධාරණ හා නීත්යනුකූල ඉල්ලීම්වලට මෙන්ම එහි ස්වෛරීභාවය සහ ආරක්ෂාව උදෙසා ගන්නා උත්සාහයන්ට සහාය දක්වන බව චීන විදේශ අමාත්ය Wang Yi මහතා ප්රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ ඉරාන විදේශ අමාත්ය Seyed Abbas Araghchi මහතා සමග පැවැති දුරකතන සංවාදයකදී.
ඉරානය සහ ඇමරිකාව අත්සන් කළ පළමු අදියරේ අවබෝධතා ගිවිසුම පිළිබඳ පැහැදිලි කළ ඉරාන විදේශ අමාත්යවරයා, ඒ වෙනුවෙන් චීනය ඉටු කළ ක්රියාකාරී භූමිකාව සම්බන්ධයෙන් ස්තුතිය පළ කර තිබෙනවා.
අවබෝධතා ගිවිසුම ඵලදායී ලෙස ක්රියාත්මක කළ යුතු බවත්, ලෙබනනයට එරෙහි ඊශ්රායල හමුදා මෙහෙයුම් නතර කිරීම ගිවිසුමට ඇතුළත් වන බවත් ඔහු සඳහන් කළා.
චීනය සමග අන්යෝන්ය විශ්වාසය වැඩිදියුණු කරගනිමින්, විවිධ ක්ෂේත්රවල සහයෝගිතාව වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන විදේශ අමාත්යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
චීන විදේශ අමාත්ය Wang Yi මහතා ප්රකාශ කළේ ඉරානය සහ ඇමෙරිකාව අතර පළමු අදියරේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම චීනය ඉහළින් පිළිගන්නා බවයි. බලය හෝ හමුදා ක්රියාමාර්ග හරහා ගැටලු විසඳීමට නොහැකි බවත්, සංවාද සහ සාකච්ඡා ඔස්සේ එය සිදු කළ යුතු බවත් ඔප්පු වී ඇති බව ඔහුගේ අදහසයි.
එමෙන් ම පාකිස්ථානය ඇතුළු ජාත්යන්තර ප්රජාව සිදුකරන මැදිහත්වීම්වලට චීනය සහාය දක්වා ඇති අතර, සාමය ප්රවර්ධනය කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු පැවසුවා.
හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සම්බන්ධ ගැටලු නිසි ලෙස විසඳිය යුතු බවත්, ජාත්යන්තර ප්රජාවේ පොදු අවධානයට ලක්ව ඇති කරුණු සඳහා සුදුසු ප්රතිචාර ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කලාපීය රටවල් සමග සබඳතා වැඩිදියුණු කරමින් කලාපීය ආරක්ෂක රාමුවක් ගොඩනැගීම සඳහා ඉරානය ගන්නා උත්සහයන්ට චීනය සහාය දක්වන බව ද චීන විදේශ අමාත්යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
චීන-ඉරාන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා චීනය සූදානම් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
දිනූෂි ධීරසිංහ


