ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න ඇතුළු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින් විමර්ශනය කළ, පසුව රාජපක්ෂ පාලනය විසින් විමර්ශනවලින් ඉවත් කළ සියලුම නිලධාරීන් යළි එම විමර්ශන සඳහා යොදවන්නැයි ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සහ එම වින්දිතයින්ගේ සියලුම සංවිධාන විසින් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ප්‍රශ්නය – ඔබතුමා පාර්ලිමේන්තුවේදී කියලා තිබුණා ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න කියන නිලධාරීන් පත් කළේ කතෝලික සභාවේ ඉල්ලීමක් මත කියලා. නමුත් දැන් සිරිල් ගාමිණී පියතුමා කියනවා ඔවුන් එහෙම ඉල්ලීමක් කළේ නැහැ කියලා. දැන් කවුද ඇත්ත කියන්නෙ ?
“පැහැදිලිවම මේ රටේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කරපු නිලධාරීන් ඒ පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් ලෙස විශ්වාස කරන රාජපක්ෂ පාලනය විසින් ඔවුන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කළ බව දන්නවා. ඒ වගේම මේ පරීක්ෂණ කරන්න වින්දිතයින් සහ වින්දිතයින්ට සම්බන්ධව කටයුතු කරන සෑම සංවිධානයක්ම මේ නිලධාරීන් නැවත ස්ථාපිත කරන්න කියන ඉල්ලීම පොදුවේ රටක් වශයෙනුත් කෙරුණා. මොකද පරීක්ෂණ කටයුතු කරද්දී ඒක කළයුතු දෙයක්. පබ්ලික් නොලේජ්. ඒ නිසා පළිගැනීමට ලක්වෙච්ච නිලධාරීනුත් ඔවුනුත් වික්ටිම්ස්ලා මේ පාස්කු ප්‍රහාරයේ. ඒ නිසා ඔවුන් සේවයේ යොදවලා පාස්කු මිනීමරුවන් සහ ඒවා සැලසුම් කරපු දේශපාලන අපරාධකරුවන් නීතිය ඉස්සරහට ගේන එක තමයි මං හිතන්නෙ වැදගත්ම දේ වෙන්නෙ. එහෙම නැතිව ඒක සම්බන්ධව එහෙට මෙහෙට කරන එක නෙවෙයි”
ප්‍රශ්නය – ඒ කියන්නෙ එහෙම ඉල්ලීමක් ආවෙ නැද්ද ඔබතුමන්ලාට ?
“මගෙන් කොහොමත් කතෝලික සභාවෙන් ඉල්ලන්නෙ නැහැනෙ”
බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


