මහා පරිමාණ ඩොලර් ජාවාරම්කරු ජෙෆ්‍රි මොහොමඩ් මීගමුවේදී කොටුවෙයි. රටින් පැන්නූ මුදල ඩොලර් මිලියන 700ක් ?

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් මහා පරිමාණයෙන් ඩොලර් රටින් පිටකිරීමේ ජාවාරමක නිරත වූ ජෙෆ්‍රි මොහොමඩ් නමැත්තා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මීගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සැඟව සිටියදී පෙරේදා (19) දිනයේදී අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 700කට (රුපියල් කෝටි 21,000කට අධික මුදලක් ) වැඩි මුදලක් විදෙස් රටවලට යවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම ජාවාරම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

මෙකී ජෙෆ්‍රි මොහොමඩ් නමැත්තා කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන A.Y. ඉන්වෙස්ට්මන්ට්ස් නම් ආයතනයක් හරහා මෙම මුදල් ප්‍රේෂණය කර ඇති බවත් කොළඹ ප්‍රධාන පෙලේ භාණ්ඩ ආනයනකරුවන් මොහු හරහා කූඨ ලෙස විදෙස් රටවලට ඩොලර් යවා භාණ්ඩ ගෙන්වාගෙන රජයට විශාල බදු ආදායමක් අහිමි කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ය. මෙරට සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද ඔවුන් ජාවාරමෙන් උපයාගන්නා මුදල් මෙම පුද්ගලයා හරහා විදෙස් රටවලට ගෙන්වාගන්නා බවට ද එහිදී කරුණු හෙළිවී ඇති බව සඳහන්.

සැකකරු මෙම ජාවාරමේදී සාක්ෂරතාව අඩු පුද්ගලයින් 36 දෙනෙකුගේ නමින් බැංකු ගිණුම් ආරම්භ කර ඒවා මෙම මුදල් ගනුදෙනු සඳහා යොදාගෙන ඇති අතර ඊට ඇතැම් බැංකු නිලධාරීන්ගෙන් ආධාර අනුබල ලැබී ඇති බවට පොලිසිය සැක කරයි.

මොහු එක් ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් දෙකක කොමිස් මුදලක් ලබාගනිමින් මෙසේ මුදල් රටින් බැහැර කිරීම සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මෙම සැකකරු ඩොලර් ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමින් යුත් වාහන කිහිපයක් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති අතර ඔහුව ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම ජාවාරම්කරු සමග ගනුදෙනු කළ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් FCID ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...