වසර තිස්තුනකට පෙර මෘග සංහාරයක මතක සටහන් : මහවත්ත කුණ්ඩසාලේ

Date:

ලංකාවේ කවදාවත් හමුදා ආන්ඩු නොතිබුනාට ලෝකේ හමුදා ආන්ඩු තිබුන ඇතැම් තැන්වල පවා නැති විදියට ලංකාව ඇතුලේ විටින්විට හමුදාව විසින් කරපු මහා ඝාතන දකින්ට ලැබෙනවා. හැත්තැ එකේ තිස් දාහක්.. අසූඅට – අසූනමයේදී හැටදාහක්… නැවත උතුරේදී ඇතැම් තැන්වල සඳහන්වෙන පරිදි ඉලක්කම් පහක ගානක්.

88,89 දී මිල්ටරි මිනීමරුවන් විසින් මරාදැමුනු හැටදහසක් මිනිසුන් සේම කැරළිකරුවන් අතින් මරා දැමුනු අති බහුතර මිනිසුන් යනු ඉතාම අමාරුවෙන් ජීවිතය ගැටගසාගත් මිනිසුන්ය. ගෘහය ජීවත්කරවූ පියවරුන් ඝාතනය වීමෙන් හද්දා අනාතවූ දරුවන් පිළිබඳ සංඛ්‍යාලේඛන අදටත් කිසිවෙකුහෝ දන්නේ නැත. කිසිවෙකුටහෝ ඒවායෙන් වැඩක් ද නැත.

මිනිසුන්ගේ හිස් පනපිටින් කඳින් වෙන්කර වැටඉණිවල ගසා මහජන ප්‍රදර්ශනයට තැබීමට සමාජයක් මොනතරම් අන්ත ම්ලේච්ඡත්වයකට වැටිය යුතුද? ඒ කෘර බාවිතාවන් තුලින් එළියට ආවේ අළුත් ලොවක හෝ සමාජවාදයක සඥා නොව මිනිසුන් උල හිඳවු අපගේම අතීත වැඩවසම් ගෝත්‍ර ම්ලේච්ඡත්වයමය..

මහනුවර නගරය තුල කැරළිකරුවන් විසින් දියත්කර තිබූ අන්ත අසාර්ථක ප්‍රහාර දෙකක් අවසන් වීමෙන් අනතුරුව ඔවුන් පසුබැස සැඟවී සිට තිබුනේ මහවත්ත ප්‍රදේශයේය. එහි ලේ වන්දිය මහවත්තේ අසරණ මිනිසුන් දෙසීයකට පමණ ජීවිතවලින් ගෙවීමට සිදුවිය…

බොහෝවිට මේ ඛේදවාචකයෙදී මරාදැමුනු වින්දිතයින්ගේ සමීප ඥාතීන්ද යුක්තිය නොලබාම සුසුම් මැද වියපත්ව මේවනවිට මෙලොව හැරදා ගොසිනි. නමුත් ඔවුන්ගේ දුක විමසීමට හෝ හැකි පමණින් ඔවුන්ට සරණවීමට කැරැල්ලේ වර්තමාන නිල අනුප්‍රාප්තිකයන් එහි ගොස් තිබුනේ නැත. කෙසේ හෝ බලය පිළිබඳ වර්තමානයක අතරමංවී ඇති ඔවුන්ට ඒ අතීත යුතුකම් ඇතැම්විට හිසරදයක්ව පවතිනවාද විය හැකිය.

අනූ හතරේදී නැවත විවෘත දේශපාලනයට එන ජ.වි.පෙ. මරාදැමුනු හැටදහසක් සහෘදයන්ගේ නිල ඝාතකයන් සෙවීම අත්හිටුවා ඝාතකයන් සමඟම එක්වී උතුරේ දෙමළ විරෝධී මල්ටිබැරල් මෙහෙයුමට මුළුවැර යොදා ආවතේව කලේය..

දකුණේදී මිනිස් මෘතදේහ බල්ලන් බළලුන්සේ ගංගාවල සියගනන් ගසාගෙන ගියේද, මංමාවත් දෙපස ටයර් සෑයවල්වල දැවුනේද,  උතුරේදී කිසිදා නොනිමෙන දොලොස්මහ පහන්වල මිනිසුන් අමුවෙන් පිච්චුනේද මේ දූපතට මිනිසුන් යනු නොවටිනා සත්ව කොට්ඨාසයක් පමණක් වූ නිසා නොවේද? වසර දහස්ගානක් තිස්සෙ ආගම තුල මහ ඉහලින් කතාකරන ජීවිතයක අගය මිල කල නොහැකිය යන වැකිය සැබෑවටම මේ මහපොලොවේ කිසිදාක යථාර්ථයක්ව තිබුනේද?

බොහෝවිට අප විසින් විමුක්තිය ලෙස අර්තකතනය කරගත් දෙයද අපගේම ඉතිහාස ම්ලේච්ඡත්වයේම දිගුවකි. සැබෑ ශිෂ්ඨ විමුක්තිය යනු අපගේ දූපත්වාදී ලෝකයට තාමත් එපිටින් පවතින නොදන්නා භෞතිකයකි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...