රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ LNW :
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්රාමික) මුහම්මද් අලි මහතා ප්රමුඛ නියෝජිත පිරිස අතර නිල හමුවක් 2026 ජූලි 02 දින වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
ගුවන්සේවා ක්ෂේත්රයේ සහයෝගිතාව පුළුල් කිරීම, දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර ගුවන් ගමන් වාර සංඛ්යාව ඉහළ නැංවීම සහ ක්ෂේත්රයේ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම වරාය හා සමුද්රීය ක්ෂේත්රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන කාරණා පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
දිට්වා ව්යසනයෙන් අනතුරුව ශ්රී ලංකාව ශක්තිමත්ව යළි නැගී සිටිමින් අත්කරගෙන ඇති සංවර්ධන ප්රගතිය පිළිබඳව පාකිස්තාන නියෝජිත පිරිසගේ ඇගයීම ද මෙහිදී පළ විය.
එමෙන්ම, කලාපීය ප්රවාහන හා ලොජිස්ටික් කේන්ද්රස්ථානයක් ලෙස ශ්රී ලංකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා ක්ෂේත්රයන්හි ක්රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද කරුණු හුවමාරු විය.


