කොළඹ LNW:ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන අද (15) දින ආරම්භ විය.
මීට සමගාමීව දිවයින පුරා තේ ගම්මාන 144ක් සමඟ පළමු අදියර ආරම්භ කෙරේ.
2030 වසර වන විට ශ්රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන ශ්රී ලංකාවේ කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කර ගෙන ක්රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන යටතේ කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න හා ඵලදායිතාව ඉහළ නැංවීම, ගොවි ආදායම වර්ධනය කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම, තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා තාක්ෂණ හඳුන්වාදීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නිෂ්පාදන සමූපකාර ක්රමය ශක්තිමත් කිරීම ඇතුළු ප්රමුඛ අරමුණු රැසක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සෑම තේ ගම්මානයක් සඳහාම අධිඝණත්ව තේ වගා ආදර්ශන බිම්, නව තේ පැළ තවාන්, කුඩා තේ වතු සඳහා රක්ෂණ ආවරණයක්, කුඩා තේවතු ගොවීන් සඳහා විශ්රාම වැටුප් ක්රමයක්, සහනදායී ණය පහසුකම්, යාන්ත්රීකරණයට අත්වැල, Handmade තේ නිෂ්පාදනය සඳහා පුහුණුව හා උපකරණ, සංචාරක කර්මාන්තය සමඟ බද්ධ කිරීම, අතිරේක ආදායම් මාර්ග සංවර්ධනය සඳහා සහාය හා මඟපෙන්වීම, නිෂ්පාදන සමූපකාර ක්රමය ශක්තිමත් කිරීම, පුනර්ජනනීය කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම හා පුහුණුව මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්රමුඛතාව ලබාදෙන සමෝධානික තේ ගම්මාන සංවර්ධන පැකේජයක් ක්රියාත්මක කරනු ලැබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ 2026 වසර තුළ දිවයින පුරා පිහිටි තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මහනුවර දිස්ත්රික් නායකයා වශයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම වැඩසටහනට සම්බන්ධ වූ අතර, එහිදී අමාත්යවරයා මෙම අදහස් පළ කළේය.
“මෙම වැඩසටහනේ මූලික කාරණය වන්නේ ග්රාමීය දුප්පත්කම පොහොසත්කම දක්වා ගෙන ඒමයි. ඒ සඳහා ගමක යම් ප්රදේශයක ප්රධාන ආර්ථික කාරණය හඳුනා ගත යුතුයි. මේ ප්රදේශය ආශ්රිතව ප්රධානම ආර්ථික බෝගය තමයි කුඩා තේ වතු. ඒ අනුව මේ ප්රදේශයේ ග්රාමීය දුප්පත්කම නැති කිරීමට තමයි මේ තේ ගම්මාන 500 වැඩසටහන ක්රියාත්මක වෙන්නේ. මෙහිදී මේ ප්රදේශයේ ජනතාවගේ ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීම මේ වැඩසටහනේ අරමුණක්. මේක සාර්ථක කර ගැනීමේදී අප මුහුණදෙන අභියෝග කිහිපයක් තියෙනවා. ඒ අභියෝග ජයගන්න තරමට තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.
පළවෙනිම දේ තමයි දේශපාලන වගකිවයුත්තෝ මේ සම්බන්ධයෙන් සක්රීය මැදිහත්වීමක් සිදු කිරීම අත්යවශ්යයි. ප්රාදේශීය සභාවේ මන්ත්රීලා වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මන්ත්රීලා වෙන්න පුළුවන් ඒ අය මේ සම්බන්ධයෙන් ඇහැ ගහගෙන සොයා බලමින් විශේෂ කැපවීමක් වුණේ නැත්නම් මේක ඉදිරියට ගෙනයනකොට අතරමඟ ප්රශ්න ඇතිවෙනවා.
ඊළඟට ගත්තහම රාජ්ය සේවය. දේශපාලනය සමඟ රාජ්ය සේවය එකය එකතු වුණේ නැත්නම් මේ වැඩසටහන් ඉදිරියට ගෙනයාම අපහසුයි. මෙහෙම ව්යාපෘති ඉතිහාසයෙත් ඕනතරම් පටන් අරගෙන තියෙනවා. ඒවා සියල්ලම අතරමඟ කඩා වැටිලා තියෙන්නේ. ඊළඟට ජනතාවගේ පැත්ත. ඔබටත් ලොකු රුදාවක් තියෙන්න ඕනේ තමන්ගේ ඉඩම වැඩිදියුණු කරගන්න. ගොවිමහත්වරු තමන්ගේ ඉඩමවත් දියුණු කරගන්න දක්වන උනන්දුව මදි. ගල්වැටිය දා ගන්නේ නැහැ. කාණුව දා ගන්නේ නැහැ. ඉඩම සශ්රීක කරගත්තොත් ඒකේ වාසිය තමන්ටමයි. ජනතාව බලාපොරොත්තු වෙනවා සියල්ලම දේශපාලනය මැදිහත් වෙලා කරලා දෙයි කියලා.
ජනතාව, ආණ්ඩුව, රජය මේ තුන්ගොල්ලොම ආර්ථික ඉලක්ක හඹාගෙන ගියොත් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන්. අපි යමකට රුපියල් 100ක් වෙන්කරන්න කිව්වොත් සල්ලි ප්රශ්නයක් නැහැ. වසර අවසානයේ මූල්ය ප්රගතිය 40%යි. එතන ප්රශ්නයක් තියෙනවා. ඒක සංවර්ධනයට ලොකු ගැටළුවක්. ඒක අපේ රාජ්ය සේවයේ පුද්ගලික වැරැද්දක්ම නෙවෙයි. ජනතාව වශයෙන් මේවා වැඩිදියුණු කරගන්න දක්වන කැපවීමේ අඩුවකුත් තියෙනවා. මීට කලින් දේශපාලනය තිබ්බේ හරිහම්බ කිරීමේ දිසාවක. රටේ සංවර්ධනය නෙවෙයි. දේශපාලඥයෝ හිතුවේ ඕනෑම ව්යාපෘතියකින් කීයක් හරි තමන්ට සාක්කුවේ දාගන්න පුළුවන් වෙයි කියලා. ආර්ථිකය වැටුණොත් මුළු සමාජයම පිරිහෙනවා. අපි තුන්ගොල්ලොම එකතුවෙලා මේ කටයුත්ත සාර්ථක කරගනිමු.”


