GOATගේ අවසන් පරිච්ඡේදයද? නැතිනම් යමාල්ගේ නව යුගයේ ආරම්භයද? ලෝකයම බලා සිටින FIFA World Cup 2026 අවසන් සටන අද!

සටහන – පුලී

ජූලි 19, LNW (කොළඹ): පුරා මසක් ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ හදවත් උණුසුම් කළ FIFA ලෝක කුසලාන 2026 තරගාවලිය අද සිය අවසන් පරිච්ඡේදයට පිවිසෙයි. නිව්යෝර්ක් – නිව් ජර්සි ක්‍රීඩාංගණය අද රාත්‍රියේ ලෝක පාපන්දු ඉතිහාසයේ තවත් අමතක නොවන මොහොතකට සාක්ෂියක් වීමට සූදානමින්! එක් පැත්තකින් වත්මන් ශූරයන් වන ආර්ජන්ටිනාව, අනෙක් පැත්තෙන් ආකර්ෂණීය පාපන්දු රටාවකින් ලොවම වශී කළ ස්පාඤ්ඤය. කුසලානයක් වෙනුවෙන් පමණක් නොව, ඉතිහාසය වෙනුවෙන් ද මේ සටන පැවැත්වෙනු ඇත.

මෙම අවසන් තරගයේ විශාලතම ආකර්ෂණය වන්නේ පරම්පරා දෙකක් එකම වේදිකාවක මුහුණට මුහුණ හමුවීමයි. වසර ගණනාවක් පාපන්දු ලෝකය පාලනය කළ ලියොනල් මෙසීගේ අත්දැකීම් එක පැත්තකින් සිටින අතර, අනාගත සුපිරි තරුව ලෙස ලොවම කතා කරන ලාමින් යමාල්ගේ තරුණ ජවය අනෙක් පැත්තේ සිටී. මෙසී සහ යමාල් පළමු වරට එකිනෙකාට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගයකදී ක්‍රීඩා කිරීමම මෙම තරගය තවත් සුවිශේෂී කරයි.

2022 කටාර් ලෝක කුසලානය ජයගත් ආර්ජන්ටිනාවට මෙවර ඉලක්කය ශූරතාව රැක ගැනීම පමණක් නොවේ. එය සාර්ථක වුවහොත්, 1962 බ්‍රසීලයෙන් පසු අඛණ්ඩව ලෝක කුසලාන දෙකක් ජයගත් පළමු පිරිමි කණ්ඩායම ලෙස ආර්ජන්ටිනාව ඉතිහාසයට එක්වනු ඇත. 

වයස 39ක් වුවද, මෙසී තවමත් ලෝක පාපන්දු පිටියේ වෙනසක් ඇති කරන ක්‍රීඩකයා බව නැවත නැවතත් ඔප්පු කර තිබේ. තරග 7කදී ගෝල 8ක් සහ ඇසිස්ට් 4ක් සමඟ සෘජු ගෝල දායකත්ව 12ක් වාර්තා කරමින් ඔහු ආර්ජන්ටිනාව අවසන් මහා තරගය දක්වා රැගෙන ආවේ සැබෑ නායකයෙකු ලෙසයි. එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේදී ලබාදුන් විශිෂ්ට ඇසිස්ට් දෙක තරගයේ ගමන්මඟම වෙනස් කළ අතර, ආර්ජන්ටිනාවට 2-1ක අතිවිශිෂ්ට ජයක් හිමි කර දුන්නේද මෙසීගේ පාපන්දු බුද්ධියයි.

අනෙක් අතට, ස්පාඤ්ඤය මෙම තරගයට පැමිණෙන්නේ තරුණ ක්‍රීඩකයන්ගේ වේගය, නිර්මාණශීලීත්වය සහ කණ්ඩායම් ක්‍රීඩාවේ ශක්තිය සමඟිනි. විශේෂයෙන් ලාමින් යමාල් මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන සිටින අතර, මෙසීගේ යුගයෙන් පසු පාපන්දු ලෝකයේ නව පාලකයා විය හැකි ක්‍රීඩකයා ලෙස බොහෝ දෙනා ඔහුව හඳුන්වති.

මේ අතර ගෝල්ඩන් බූට් සම්මානය සඳහා වන සටනද තවමත් උණුසුම්ය. මෙසී ගෝල 8ක් සහ ඇසිස්ට් 4ක් සමඟ පෙරමුණේ සිටින නමුත්, ප්‍රංශයේ කීලියන් එම්බාපේ ද ගෝල 8ක් ලබා සිටින බැවින් අවසන් සටන තවමත් විවෘතය.

අද රාත්‍රියේ නිව්යෝර්ක් – නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී තීරණය වන්නේ ශූරයෙක් පමණක් නොවේ. එය පාපන්දු ඉතිහාසයේ තවත් රන් අකුරින් ලියැවෙන කතාවක්ද? නැතහොත් නව පරම්පරාවක ආරම්භයක්ද? යන්නයි. මෙසී තවත් වරක් ලෝකය ජයගනීවිද? නැත්නම් යමාල්ගේ නව යුගය අදින් ආරම්භ වේවිද? පිළිතුර දැනගැනීමට මුළු ලෝකයම බලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...