සටහන – පුලී
ජූලි 24, LNW (කොළඹ): ඉන්දියාවේ ප්රකට ලේඛක, පාර්ලිමේන්තු මන්ත්රී සහ මහජන බුද්ධිමතෙකු වන ආචාර්ය ශෂි තරූර් මහතා අද (24) කොළඹදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉන්දු–ශ්රී ලංකා සබඳතා මෙන්ම කලාපීය සහයෝගිතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.
ආචාර්ය ශෂි තරූර් මහතා ශ්රී ලංකාවට පැමිණ සිටින්නේ කොළඹ සාහිත්ය උළෙලේ (Colombo Literary Festival) ප්රධාන ආරාධිත අමුත්තා ලෙසය. ජූලි 24 දින ආරම්භ වූ මෙම උළෙලේ සමාරම්භක උත්සවය කොළඹ ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් චතුරශ්රයේදී පැවැත්විණි.
සමාරම්භක අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා, කොළඹ නගරාධිපති ව්රායි කැලි බල්තසාර් මහත්මිය, උළෙලේ අධ්යක්ෂ ප්රදීප් සමරනායක මහතා සහ ශ්රී ලංකාවේ සාහිත්ය ක්ෂේත්රයේ ප්රමුඛයන් රැසක්ද එක්ව සිටියහ.
ජූලි 24 සිට 29 දක්වා දින හයක් පැවැත්වෙන කොළඹ සාහිත්ය උළෙල සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා තුනම නියෝජනය කරමින් දේශීය හා ජාත්යන්තර ලේඛකයින්, කවියන්, විචාරකයින්, විද්වතුන්, චිත්රපට නිර්මාණකරුවන්, කලාකරුවන් සහ පාඨකයින් එක්කරන ජාත්යන්තර සාහිත්ය වේදිකාවක් ලෙස සංවිධානය කර තිබේ.

