මෙය සම්පූර්ණයෙන්ම ඇස් බැන්ඳුමක් – මහාචාර්ය ජී.එල්.

රෂිකා හෙන්නායක අගෝස්තු 12 , කොළඹ LNW :

අද (12) පෙරවරුවේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට අදහස් දැක්වීමක් සිදුවිය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ,

“ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියක්, පනතක් ගෙනෙනකොට විශාල සංවාදයක් ඇතිවිය යුතුයි. නීතිඥ සංගමය, විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන කියන සියල්ලක්ම මේ සඳහා එකතු කර ගත යුතුය. ඔවුන්ගේ මතමතවාදයන් ගැඹුරින් සැලකිල්ලට භාජනය කිරීමෙන් පසුව තමයි අවසාන තීරණය ගත යුත්තේ.

නමුත් අද මොකක්ද ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය? මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා අපිට ඉතාම පැහැදිලිව කිව්වා ගිය සෙනසුරාදා උන්වහන්සේලා ලිපියක් යැව්වා කියලා ගරු ජනාධිපතිතුමාට. නමුත් ඒ ලිපියට මොනවා වුණාද කියලා කවුරුත් දන්නේ නැහැ. ලිපිය ලැබුණු බව පවා දන්වලා නැහැ. මේ මහා නායක ස්වාමීන් වහන්සේලාට සලකන විදිහද?.

අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇහුවාම එතුමාගේ උත්තරය වුණේ “මම මේ ගැන කිසිවක් දන්නේ නැහැ. ජනාධිපතිවරයා මේ ගැන මාත් එක්ක කතා කරලා නැහැ” කියන එකයි.

එහෙමනම් අපිට විශ්වාස කරන්න බැහැ රටේ වර්තමාන තත්ත්වය ගැන. මේ යෝජිත ප්‍රතිපාදන ගැන නීතිඥ සංගමය හා අනෙකුත් අදාළ පුද්ගලයන් සමඟ සාකච්ඡා නොකළා පමණක් නෙවෙයි, රජය තුළ අධිකරණ අමාත්‍යවරයා දන්නේ නැහැ, විෂය භාර අමාත්‍යවරයා දන්නේ නැහැ මෙහෙම ලිපියක් මහා නායක ස්වාමීන් වහන්සේලා අතිගරු ජනාධිපතිතුමාට යවලා තියෙනවාද කියලාවත්.

කිසිම සංවාදයක් නැහැ. සම්පූර්ණයෙන්ම රහසිගතයි. කවුරුත් දන්නේ නැහැ මොනවාද වෙන්නේ කියලා.

අද දවල් 1.00 ට ගරු ජනාධිපතිතුමා අවස්ථාව දීලා තියෙනවා නීතිඥ සංගමයට එතුමා හමුවෙන්න. මොකක්ද ඒකේ ප්‍රයෝජනය? නීතිඥ සංගමයට වුවමනා වුණා ජනාධිපතිතුමාව හමුවෙලා එතුමාට කරුණු ඉදිරිපත් කරන්න. “මේක නුසුදුසු දෙයක්, මේකෙන් ලොකු හානියක් වෙනවා අධිකරණයට, හැමෝම ගරු කරපු ආයතනයක් සම්බන්ධයෙන් අද ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක් ඇතිවෙනවා, මේක කරන්න එපා” අන්න ඒ අදහස ඉදිරිපත් කිරීමට තමයි නීතිඥ සංගමයට වුවමනා වුණේ ජනාධිපතිතුමාව හමුවෙන්න. නමුත් එතුමා ඒ අවස්ථාව දෙන්නේ සියල්ලක්ම කරලා ඉවර වුණාට පස්සේ.

ගැසට් එක ගහලා, තීරණ අරන්, කැබිනට් මණ්ඩලය තීරණය කරලා, මේ ඔක්කොම කරායින් පස්සේ තමයි නීතිඥ සංගමය හමුවෙන්නේ. මොකක්ද ඒකේ ප්‍රයෝජනය? මෙය සම්පූර්ණයෙන්ම ඇස් බැන්ඳුමක්.

තීරණ අරන්, ක්‍රියාත්මක කරලා, ඔක්කොම කරායින් පස්සේ හමුවෙන එකෙන් මොකක්ද තිබෙන ප්‍රයෝජනය? මෙන්න මේ විදියේ තත්ත්වයක් තමයි අද අපේ රටේ තියෙන්නේ.

ලබන සතියේ අපි උසාවි යනවා. අපි උසාවි ගිහිල්ලා අපි කිසිම සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වනවා මේ කරන්න හදන වැඩෙන් ගොඩනැගිලා තියෙන නඩු, නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා. 1% යි නඩු තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ. මේ දෙයින් ඒවාට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් බලන්න වෙන විනාශය මොකක්ද කියලා.

දැනටම රජය කියලා තියෙනවා පොලිස් නිලධාරීන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන හිතලා බලනවා කියලා. එතකොට හෙදියන්ගේ සංගමය නිල වශයෙන් ජනාධිපතිගෙන් ඉල්ලා තියෙනවා “මේ වරප්‍රසාදය ඒගොල්ලන්ටත් දෙන්න” කියලා. එතකොට විශ්වවිද්‍යාල මහාචාර්යවරු, රාජ්‍ය සේවයේ අංශ ප්‍රධානීහු, ඒ කියන්නේ මේ ඔක්කොටම මේක ලැබෙන්න ඕනේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යටතේ. නැති ප්‍රශ්න ඇතිවීමක් මිස තියෙන ප්‍රශ්නවලට කිසිම විදියේ විසඳුමක් මේකෙන් ලැබෙන්නේ නැහැ.

අපේ රටේ ජනතාවගේ අසීමිත, අසම්මත ගෞරවයට පාත්‍ර වුණු අධිකරණයට මේකෙන් වෙන හානිය අනන්තයි, අප්‍රමාණයි. මේකද මේ රටේ ප්‍රමුඛ ප්‍රශ්නය? බලන්න ගොවීන්ගේ ප්‍රශ්න? නිෂ්පාදන වියදම පවා ලබාගන්න බැහැ, ගොවීන් පාරේ! බන්ධනාගාරවල 34 ක් මැරිලා! සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න? අවශ්‍ය ඖෂධ රෝහල්වල නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න. මේවා කිසිවක් ගැන සැලකිල්ල යොමු කිරීමක් කරන්නේ නැතුව මේ සියලුම උත්සාහය රජයේ මේ විනිසුරුවරුන්ගේ ප්‍රශ්නය. මේකද රටේ ප්‍රමුඛතාවය? රටේ අවශ්‍යතාවය මේකද කියන ප්‍රශ්නය අපි රජයට යොමු කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...