රෂිකා හෙන්නායක අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඕමාන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ කැරොලයින් බෙසෙන්ගි නමැති තෙල් නැව අනතුරට පත්වීමෙන් සිදු වූ මහා පරිමාණ තෙල් කාන්දුවක් හේතුවෙන් එරට වෙරළ තීරයේ කිලෝමීටර් 40ක පමණ ප්‍රමාණයක් මේ වන විට දූෂණය වී ඇත.
රුසියානු තෙල් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන මෙම නෞකාව ජූනි මාසයේ සිට ගොඩබිමට නුදුරින් සිරවී ඇති අතර, එයින් කාන්දු වන බොරතෙල් සංවේදී සාගර කලාප සහ දූපත් කරා වේගයෙන් පැතිර යමින් පවතී.
ඕමාන් පාරිසරික බලධාරීන් සහ ග්‍රීන්පීස් වැනි සංවිධාන පෙන්වා දෙන්නේ මෙමගින් මුහුදු කැස්බෑවන් ඇතුළු ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.
සම්බාධක පනවා ඇති සහ නිසි නියාමනයකට යටත් නොවන මෙවැනි අසම්මත නෞකා සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු හේතුවෙන්, සිදුවී ඇති විනාශය පිරිසිදු කිරීමේ වගකීම දැරීමට කිසිදු පාර්ශවයක් ඉදිරිපත් නොවීම මෙම අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී තිබේ.
පාරිසරික කණ්ඩායම් මේ වන විටත් මෙම තත්ත්වය පෙර නොවූ විරූ පාරිසරික ව්‍යසනයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම බරපතල තත්ත්වය පාලනය කිරීම සඳහා එරට සහන කණ්ඩායම් උපරිම උත්සාහයක නිරත වෙති.


