රෂිකා හෙන්නායක අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු ලෙබනනයේ ගිනිදැල් මැදින්: මිනිස් ජීවිත බේරාගැනීමේ අසමසම අරගලය
දකුණු ලෙබනනයේ සූර්ය රශ්මියෙන් තැවුණු Tyre නගරයේ මංමාවත්වල අද පවතින්නේ අමුතුම ආකාරයේ නිහඬතාවකි. ඩීසල් ගඳ සහ පිළිස්සුණු සුන්බුන්වල දුමාරය තවමත් රැඳී පවතින සිවිල් ආරක්ෂක මධ්‍යස්ථානයේ, දුමෙන් සහ දැලියෙන් වැසුණු නිල ඇඳුම හැඳ සිටින Ali Safiuddin අපට හමුවේ. දකුණු ලෙබනනයේ විශාලතම නගරයේ සහන සේවා ප්‍රධානියා වන ඔහු, දෛනිකව මරණය සමඟ සෙල්ලම් කරන මිනිසෙකි. එහෙත් මේ කතාවේ වඩාත්ම සංවේදී පැතිකඩ වන්නේ, යුද්ධය නිසාම තමන්ගේම දියණිය අහිමි වූ පියෙකු, තවදුරටත් අන් අයගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් තම හුස්ම පවා පරදුවට තබා කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
ඉශ්‍රායල දේශසීමාවේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරට විහිදෙන, ඉශ්‍රායලය විසින් ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශිත “කහ රේඛාව” ආසන්නයේ ජීවිතය ගෙවෙන්නේ නිරන්තර බිය සහ අවදානම මධ්‍යයේය. සෆියුදීන් පවසන පරිදි, ටයර් නගරය තුළ තත්ත්වය “සාපේක්ෂව සාමාන්‍ය” ය. එහෙත් ඒ සාමාන්‍ය බව පිටුපස ඇත්තේ බිහිසුණු පරස්පරතාවකි.
නගරය තුළ පවතින නිහඬතාවය බිඳී යන්නේ ඈතින් ඇසෙන බෝම්බ පිපිරුම්වල කම්පනයෙනි. ලෙබනනයේ "සාමාන්‍ය ජීවිතය" යනු යුද්ධය නොමැති වීම නොව, මරණය තත්පර කිහිපයකට හෝ ප්‍රමාද වීමයි. මායිම් ගම්මාන ගිනි ගනිද්දී, ටයර් නගරය තුළ මිනිසුන් තම දෛනික කටයුතුවල නිරත වන්නේ තම හිස මතින් ඕනෑම මොහොතක මිසයිලයක් පතිත විය හැකි බව දැන දැනමය.
මියගිය දියණියගේ මතකය ජීවිත බේරාගැනීමට ශක්තියක් වූ අයුරු
සෆියුදීන්ගේ සිතේ මැකී නොයන වේදනාව උපන්නේ 2006 වසරේ පැවති යුද්ධයේදීය. එදින ඔහු ආරක්ෂිතම ස්ථානය යැයි සිතා සිය බිරිඳ සහ එක් හැවිරිදි දියණිය වූ ලින් (Lynn) රඳවා තැබුවේ තමන් සේවය කළ සිවිල් ආරක්ෂක මධ්‍යස්ථානයට යටින් පිහිටි බිම් මහලේ ආරක්ෂිත කුටියකය. එහෙත් දෛවයේ සරදමකට මෙන්, ඉශ්‍රායල ප්‍රහාරයකින් එම මධ්‍යස්ථානයම විනාශ වී සිය දියණිය ඔහුට අහිමි විය.
කාලය ගෙවී ගියද, එම වේදනාව සැඟවුණු ගින්නක් මෙන් ඔහුගේ සිතේ පැවතිණි. වසර 14කට පසු 2020 බෙයිරූට් වරාය පිපිරීමේදී, තට්ටු තුනක සුන්බුන් අතර පැය 18ක් සිරවී සිටි 14 හැවිරිදි දැරියක බේරාගැනීමට ඔහුට හැකි වූයේ ඒ සිතේ දැවෙන ගින්න අධිෂ්ඨානයක් බවට පත් කරමිනි.
“මගේ දියණිය ජීවතුන් අතර සිටියා නම් ඇයටත් දැන් එම වයසමයි. ඒ දැරිය ජීවත් වූ නිසා, මගේ දියණියගේ ආත්මය නැවත ගෙන එන බව මට දැනෙනවා.”
පුද්ගලික ඛේදවාචකය අත්හැරීම වෙනුවට, සෆියුදීන් එය අනුන්ගේ ජීවිත රකින මෙහෙවරක ගැම්ම බවට පත් කරගෙන ඇත. මෙය සේවයක් නොව, මියගිය තම දියණිය වෙනුවෙන් ඔහු පවත්වන ජීවමාන උපහාරයකි.
සහන සේවකයන් ඉලක්ක කිරීම සහ “ගිලන් රථ දෙකේ” උපක්‍රමය
මානුෂීය මෙහෙයුම්වල යෙදෙන සහන සේවකයන්ට එල්ල වන ප්‍රහාර හමුවේ ලෙබනනයේ තත්ත්වය අතිශය දරුණුය. එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව පසුගිය මාර්තු මාසයේ ආරම්භයේ සිට මේ දක්වා අවම වශයෙන් සහන සේවකයන් සහ සෞඛ්‍ය සේවකයන් 135 දෙනෙකු ඝාතනය වී ඇත. මෙහිදී ඉශ්‍රායලය භාවිතා කරන “ඩබල්-ටැප්” (double-tap) උපක්‍රමය අතිශය ම්ලේච්ඡය. එනම් පළමු ප්‍රහාරයෙන් පසු සහන සේවකයන් එම ස්ථානයට පැමිණෙන තෙක් සිට දෙවන ප්‍රහාරය එල්ල කිරීමයි.
අප්‍රේල් 28 වන දින මජ්දල් සූන් (Majdal Zoun) ගම්මානයේදී මෙවැනි ප්‍රහාරයකින් සෆියුදීන්ගේ සමීපතම සගයන් වූ හුසේන් ගද්බූනි, හුසේන් සාති සහ හාඩි දහර් (Hadi Daher) ජීවිතක්ෂයට පත් වූහ. මෙම අනතුර අවම කරගැනීමට සෆියුදීන්ගේ කණ්ඩායම දැන් අනුගමනය කරන්නේ “ගිලන් රථ දෙකේ” උපක්‍රමයයි. එක් ගිලන් රථයක් ප්‍රහාරය වූ ස්ථානයට යද්දී, අනෙක පිටතින් රැඳී සිටින්නේ තම සගයන් අනතුරක වැටුණහොත් ඔවුන් බේරාගැනීමටය. ළමයින් සහ මහලු අය ඉලක්ක කරන මෙම යුද්ධයේ කෲරත්වය ලොවට පෙන්වීමට සෆියුදීන් වෙහෙසෙන්නේ තම සගයන්ගේ රුධිරය සිහිපත් කරමිනි.
ලේ නෑකමට එහා ගිය සහෝදරත්වය
සෆියුදීන් තමා යටතේ සිටින සහන සේවකයන් හඳුන්වන්නේ තමාගේ “පුතුන්” ලෙසයි. ඔහුගේ 18 හැවිරිදි පුත්‍රයා වූ හුසේන් ද දැන් සිය පියා සමඟ උරෙනුර ගැටී මෙම මාරාන්තික සේවයේ නිරත වේ. මෙම පිරිස අතර පවතින්නේ රාජකාරිමය බැඳීමක් නොවේ. මරණය අභියස ඔවුන් අතර අමුතුම ආකාරයේ ගිවිසුමක් පවතී.
"අපෙන් කවුරුන් හෝ මියගියහොත්, ඉතිරි අය මියගිය කෙනාගේ මෙහෙවර අත්නොහැර ඉදිරියට ගෙන යා යුතුයි," යන්න ඔවුන්ගේ නොලියූ ගිවිසුමයි. දිනපතා මරණය දකින, මරණය අසලම ජීවත් වන මෙම පිරිස අතර ගොඩනැඟී ඇති මානසික බැඳීම ඕනෑම ලේ නෑකමකට වඩා ශක්තිමත් ය.
අභියෝග හමුවේ නොසැලෙන අධිෂ්ඨානය
වර්තමානයේ පවතින කෙටි නිශ්ශබ්දතාවය ප්‍රයෝජනයට ගනිමින් සෆියුදීන් තම විනාශ වූ මධ්‍යස්ථානය යළි ගොඩනඟමින් සිටියි. එය තවත් බෝම්බයකින් විනාශ විය හැකි බව ඔහු දනී. එහෙත් ඔහු පසුබට වන්නේ නැත.
“මට තවදුරටත් කිසිදු බියක් නැත. මා සමඟ සිටින අය ගැන මම බිය වෙමි. නමුත් මම යුද්ධයට බිය නොවෙමි. මම මේ වැඩය අත්හැරියහොත්, එය මගේ දියණිය අත්හැරියාක් මෙනි.”


