සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 11කට ආසන්න කාලයක් දරුණු මොළයේ තුවාලයක් සමඟ ජීවිතය ගත කළ හිටපු ප්රිචාඩ් කොලොන්(Puerto Rican) බොක්සිං ක්‍රීඩක Prichard Colón ඊයේ(13)දිනයේදී මියගොස් තිබේ.
මියයන විට ඔහු වයස අවුරුදු 33 පසුවිය.
ප්රිචාඩ් කොලොන්ගේ මරණය ඔහුගේ පියා සහ හිටපු පුහුණුකරු Richard Colón විසින් තහවුරු කර ඇති අතර ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති නමුත්, 2015 වසරේ සිදුවූ බොක්සිං තරගයෙන් පසු ඔහු දරුණු මොළයේ තුවාලයකින් පීඩා විඳිමින් සිටියේය.
2015 ඔක්තෝබර් 17දා Virginia ප්‍රාන්තයේ පැවති එම තරගයේදී එවකට 23 හැවිරිදි වූ Colón, Terrel Williams සමඟ තරග කළේය. එවකට ඔහු වෘත්තීය තරග 16කින්ම ජයග්‍රහණ ලබා තිබූ, 13 knockout ජයග්‍රහණ සහිත අපරාජිත බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට පැමිණෙමින් සිටි තරුණ තරුවක් විය.

එහෙත් එම තරගයේදී Williams විසින් Colónගේ හිස පිටුපසට කිහිපවරක් පහර එල්ල කළ බව වාර්තා වී තිබේ. බොක්සිං ක්‍රීඩාවේදී මෙවැනි පහරවල් “rabbit punches” ලෙස හඳුන්වන අතර ඒවා නීතිවිරෝධී පහරවල් වේ. Colón එම පහරවල් සම්බන්ධයෙන් විනිසුරුට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළ බවද සඳහන් වේ.
තරගයේ නවවැනි වටය අවසන් වීමෙන් පසු Colónගේ තත්ත්වය වේගයෙන් බරපතළ විය. ඔහු ඇඳුම් මාරු කරන කාමරයේදී අසනීප වී ඇද වැටුණු අතර රෝහල්ගත කිරීමෙන් පසු මොළයේ රුධිර වහනයක් හඳුනාගෙන හදිසි ශල්‍යකර්මයකට ලක් කෙරිණි. ඉන් අනතුරුව ඔහු දින 221ක් කෝමා තත්ත්වයේ සිටියේය.
කෝමා තත්ත්වයෙන් අවදි වූ පසුවද Colónට එම මොළයේ තුවාලයෙන් ඇති වූ බරපතළ බලපෑම්වලින් මිදීමට නොහැකි විය. ඔහුට දෛනික ජීවිතය සඳහා පවුලේ සාමාජිකයන්ගේ නිරන්තර සහාය අවශ්‍ය වූ අතර, ඔහුගේ ජීවිතයේ ඉතිරි වසර ගණනාවම එම තුවාලයේ ප්‍රතිවිපාක සමඟ ගත කිරීමට සිදුවිය.
Colónගේ ඛේදජනක කතාව වසර ගණනාවක් පුරා බොක්සිං ක්‍රීඩාවේ ආරක්ෂාව සහ ක්‍රීඩකයන්ගේ හිස ආශ්රිත තුවාල පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ සිදුවීමක් බවට පත්විය. ඔහුගේ මරණයත් සමඟ එම සිදුවීම නැවතත් ලෝක බොක්සිං ක්ෂේත්රයේ අවධානයට ලක්ව තිබේ.
වයස අවුරුදු 23දී වළල්ල තුළ සිදුවූ තරගයක් ඔහුගේ වෘත්තීය ජීවිතය පමණක් නොව, ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළේය. වසර 11කට පසු, 33 හැවිරිදි වියේදී Prichard Colónගේ ජීවිත ගමන අවසන් විය.

