රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :
" අපේ සුරතල් බල්ලා අප දෙස බලා සිටින විට, අපේ සතුට හෝ දුක ඇත්තටම ඔවුන්ට තේරෙනවාද? මෙය බොහෝ සුරතල් හිමියන් පමණක් නොව, විද්‍යාඥයන් පවා කාලයක සිට සොයමින් සිටි ප්‍රශ්නයකි. වියානා විශ්වවිද්‍යාලයේ (University of Vienna) පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ප්‍රකට iScience (Cell Press) විද්‍යාත්මක ජර්නලයේ පළ කරන ලද නවතම පර්යේෂණයකින් මේ පිළිබඳව ඉතා විස්මයජනක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සුනඛයන්ගේ මොළය තුළ මිනිස් හැඟීම් කියවන ආකාරය පිළිබඳව සොයාගත් නවතම විද්‍යාත්මක කරුණු කිහිපයකි"

සතුට හඳුනාගැනීමේ සුවිශේෂී හැකියාව
මෙම පර්යේෂණයේදී සුනඛයන් 12 දෙනෙකුගේ මොළය MRI ස්කෑන් පරීක්ෂණයක් මගින් නිරීක්ෂණය කරන ලදී. මෙහිදී විශේෂත්වය වන්නේ, එම ස්කෑන් පරීක්ෂණවලින් ලබාගත් දත්ත ඉතා නිවැරදිව විශ්ලේෂණය කිරීම සඳහා යන්ත්‍ර ඉගෙනුම් (Machine Learning) තාක්ෂණය භාවිතා කිරීමයි. විවිධ හැඟීම් ප්‍රකාශ කරන නන්නාදුනන මිනිස් මුහුණුවල ඡායාරූප සුනඛයන්ට පෙන්වා ඔවුන්ගේ මොළයේ ප්‍රතිචාර මෙහිදී මැන බලන ලදී.
පර්යේෂකයන් සොයාගත් පරිදි, සතුටුදායක මුහුණු දුටු විට පමණක් සුනඛයන්ගේ මොළයේ 'Temporal Cortex' සහ 'Caudate Nucleus' යන කොටස් සක්‍රීය වේ. මෙම කලාප 'ත්‍යාග සැකසුම්' (Reward processing) සහ 'ඉහළ සංජානන කාර්යයන්' සමඟ සෘජුවම සම්බන්ධ වේ. විශේෂම කරුණ වන්නේ, කෝපය, බිය හෝ දුක වැනි හැඟීම් දුටු විට මෙම 'ත්‍යාග මධ්‍යස්ථාන' කිසිසේත් ක්‍රියාත්මක නොවීමයි. මෙයින් පෙනී යන්නේ මිනිස් සිනහවක් හඳුනා ගැනීමට සුනඛයන්ගේ මොළය තුළ ඉතා විශේෂිත සහ ධනාත්මක සන්නිවේදන රටාවක් පවතින බවයි.

පර්යේෂණයේ ජ්‍යෙෂ්ඨ කතුවරියක වන ලෝරා කුවායා (Laura Cuaya) පවසන පරිදි...
"සුනඛයන් අපේ හැඟීම් වටහා ගැනීමට සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප සමඟම පරිණාමය වී ඇත. මෙය හඳුනා ගැනීම අප ඔවුන් සමඟ සන්නිවේදනය කරන සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය වෙනස් කිරීමට හේතු විය හැක."
සෘණාත්මක හැඟීම් වෙන්කර හඳුනාගැනීම
මෙම අධ්‍යයනය විද්‍යා ලෝකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ, සුනඛයන්ට බිය, කෝපය සහ දුක වැනි සෘණාත්මක හැඟීම් එකිනෙකින් වෙන්කර හඳුනාගත හැකි බවට ලැබුණු “ප්‍රථම විද්‍යාත්මක සාක්ෂිය” මෙය වන බැවිනි. මීට පෙර අප දැන සිටියේ සුනඛයන්ට හොඳ සහ නරක හැඟීම් අතර වෙනස තේරෙන බව පමණි. නමුත් මෙම පර්යේෂණයෙන් පෙනී ගියේ බිය සහ දුක වැනි විවිධ සෘණාත්මක හැඟීම් වලදී ඔවුන්ගේ මුළු මොළය පුරාම පැතිරුණු, එකිනෙකට වෙනස් වූ ක්‍රියාකාරී රටාවන් (Distinct activity patterns) නිර්මාණය වන බවයි. මෙය සුනඛ සංජානනය පිළිබඳ විද්‍යාවේ විශාල පිම්මකි.

පරිණාමය සහ සන්නිවේදනය
බල්ලන් වසර දහස් ගණනක් තිස්සේ මිනිසා සමඟ සමීපව පරිණාමය වීම නිසා අනෙකුත් කිසිදු සතෙකුට නොමැති සුවිශේෂී හැකියාවක් ඔවුන්ට ලැබී තිබේ. එනම් මිනිස් මුහුණේ ඇතිවන ඉතා සියුම් ඉරියව් (micro-expressions) හඳුනා ගැනීමට ඔවුන්ගේ මොළය හැඩගැසී තිබීමයි. සුනඛ චර්යා පිළිබඳ විශේෂඥයෙකු ලෙස මා දකින්නේ, මෙම පරිණාමය නිසාම අපේ සුරතලුන් අප සමඟ පවත්වන බැඳීම වචනවලින් විස්තර කළ නොහැකි තරම් ගැඹුරු එකක් වන බවයි. ඔවුන් නිකම්ම අපේ අණට කීකරු වන සතුන් පිරිසක් නොව, අපගේ මානසික මට්ටම තේරුම් ගත හැකි සහෝදර ජීවී කොට්ඨාසයකි.
පර්යේෂණයේ සීමාවන් සහ අනාගතය
මෙම පර්යේෂණය ඉතා වැදගත් වුවද, එහි යම් යම් සීමාවන් ද පවතී. මෙම අධ්‍යයනයට සහභාගී කරවා ගත්තේ “ආදරණීය පවුල්වල හැදී වැඩුණු” (Pets from loving families) සුරතල් බල්ලන් පමණි. එබැවින් එවැනි සෙනෙහසක් හෝ පුහුණුවක් නොලබන බල්ලන් මිනිස් හැඟීම් වලට දක්වන ප්‍රතිචාර මීට වඩා වෙනස් විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
අනාගතයේදී පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ ශරීර භාෂාව, කටහඬේ ඇතිවන සියුම් වෙනස්කම් සහ සමෙන් පිටවන රසායනික සලකුණු හෙවත් ඝ්‍රාණ සංවේදනයන් (Scent) මගින් බල්ලන් මිනිස් හැඟීම් කියවන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් ගවේෂණය කිරීමටයි.



