සටහන: සශිකලා මධුෂාණී
අදින් වසර 49කට පෙර, 1977 අගෝස්තු 16 වැනිදා, ලෝක සංගීතයේ එක් යුගයක් නිහඬ විය. “King of Rock ’n’ Roll” ලෙස ලොවක් හඳුනාගත් එල්විස් ප්‍රෙස්ලි, වයස අවුරුදු 42ක්ව සිටියදී මෙම්ෆිස්හි ඔහුගේ නිවස වූ ග්‍රේස්ලන්ඩ්හිදී මිය ගියේය. නිල ග්‍රේස්ලන්ඩ් වාර්තාව අනුව ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් වූ අතර, ඔහුගේ මරණ පුවත පැය කිහිපයක් ඇතුළත ලොව පුරා කම්පනයක් ඇති කළේය.
එහෙත් එල්විස්ගේ මරණය ඔහුගේ කතාවේ අවසානයක් නොවීය. එය ඔහුගේ පුරාවෘත්තය ආරම්භ වූ තවත් පරිච්ඡේදයක් විය.

දුප්පත් පවුලකින් ලෝක වේදිකාවට
1935 ජනවාරි 8 වැනිදා මිසිසිපිහි ටුපෙලෝ නගරයේ උපන් එල්විස්, සංගීත ලෝකය ආක්‍රමණය කළේ සාම්ප්‍රදායික ගායකයෙකු ලෙස නොවේ. Gospel, country සහ කළු ඇමරිකානු R&B සංගීතයේ බලපෑම් එකට මිශ්‍ර කරමින් ඔහු අලුත් හඬක් සහ අලුත් වේදිකා සංස්කෘතියක් නිර්මාණය කළේය. 1954දී Sun Records හරහා වෘත්තීය සංගීතයට පිවිසි ඔහු, 1956 වන විට ජාත්‍යන්තර අයිකනයක් බවට පත්ව සිටියේය.

එල්විස්ගේ ගායනය පමණක් නොව, ඔහුගේ වේදිකා හැසිරීමද එකල සමාජයේ විශාල අවධානයකට ලක් විය. ඔහුගේ නර්තන චලන, ඇඳුම් විලාසිතා සහ ආකර්ෂණීය පෞරුෂය තරුණ පරපුරට නව සංස්කෘතික රැල්ලක් ගෙන ආවේය.
එල්විස් සංගීතයෙන් පමණක් සීමා වූයේ නැත. ඔහු චිත්‍රපට 33කට රංගනයෙන් දායක වූ අතර රූපවාහිනී වැඩසටහන් සහ දැවැන්ත සජීවී ප්‍රසංග හරහාද තම ජනප්‍රියත්වය තවදුරටත් පුළුල් කළේය. ග්‍රේස්ලන්ඩ් සඳහන් කරන පරිදි, ඔහුගේ වාර්තා ලෝකය පුරා බිලියනයකට වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබේ.
ඔහුට Grammy සම්මාන 3ක් හිමි වූ අතර විශේෂත්වය වන්නේ එම සම්මාන තුනම සංගීතය වෙනුවෙන් ලැබීමයි.

එල්විස්ගේ අවසාන කාලය ඔහුගේ තරුණ කාලයේ දිදුලන සාර්ථකත්වයට වඩා වෙනස් විය. ශාරීරික තත්ත්වය පිරිහෙමින් තිබියදීත් ඔහු ප්‍රසංග සංචාරවල නිරත විය. 1977 ජූනි මාසයේ ඔහුගේ අවසාන ප්‍රසංග කිහිපයක් රූගත කරන ලද අතර, ඔහුගේ අවසාන සජීවී ප්‍රසංගය 1977 ජූනි 26 වැනිදා ඉන්ඩියානාපොලිස්හිදී පැවැත්විණි.
අගෝස්තු 16 වැනිදා ඔහුගේ ඊළඟ ප්‍රසංග සංචාරය ආරම්භ කිරීමට සූදානම්ව සිටියේය. එහෙත් එම සංචාරය කිසිදා සිදු නොවීය. එල්විස් ග්‍රේස්ලන්ඩ්හිදී මිය ගියේය.
අවුරුදු 49කට පසුවත් ඇයි එල්විස් මෙතරම් වැදගත්?
එල්විස්ගේ විශාලතම උරුමය වන්නේ ඔහු අලෙවි කළ වාර්තා සංඛ්‍යාව පමණක් නොවේ. වසර 49ක් ගත වී ඇත් පරම්පරා කිහිපයක් වෙනස් වී ඇතත් සංගීත තාක්ෂණය vinyl තැටියේ සිට streaming දක්වා ගමන් කර ඇති නමුත් “Elvis” යන නම තවමත් ලෝක සංගීතයේ බලවත්ම සන්නාමයක් බවට පත්ව ඇත.
ඔහු සංගීතය අහන ආකාරය වෙනස් කළේය. ඔහු වේදිකාවේ සිටින ගායකයෙකු දකින ආකාරය වෙනස් කළේය. ඔහු ජනප්‍රිය සංස්කෘතියේ ‘සුපිරි තරුව’ යන සංකල්පය වෙනස් කළේය.
එල්විස්ගේ මරණයෙන් වසර 49කට පසුව අදත් ග්‍රේස්ලන්ඩ්හි දැල්වෙන ඉටිපන්දම් ඔහුගේ රසිකයන් ඔහුව අමතක කර නැත. මෙවරත් Elvis Week 2026 අගෝස්තු 8–16 දක්වා පැවැත්වෙන අතර, ග්‍රේස්ලන්ඩ්හි වාර්ෂික Candlelight Vigil සඳහා දහස් ගණනක් රසිකයන් එක්වෙති. ඉටිපන්දම් රැගෙන ඔහුගේ සොහොන් ස්ථානය වෙත යන එම නිහඬ පෙරහැර එල්විස්ගේ මතකය තවමත් කොතරම් ජීවමානද යන්න පෙන්වන සංකේතයකි. ලෝකය සිහිපත් කරන්නේ සංගීතය වෙනස් කළ මිනිසෙකි.
එබැවින් අද, 2026 අගෝස්තු 16 වැනිදා, එල්විස් ප්‍රෙස්ලිගේ 49 වැනි ගුණ සැමරුම අපට මතක් කරන්නේ මරණය මිනිසෙකුගේ ජීවිතය අවසන් කළත්, ඔහු ලෝකයට දුන් සංගීතය සහ සංස්කෘතික බලපෑම අවසන් කළ නොහැකි බවයි.
එල්විස් ප්‍රෙස්ලි මිය ගියේ මීට වසර 49කට පෙර නමුත් ඔහුගේ යුගය තවමත් අවසන් වී නැත. ‘කිං’ තවමත් වේදිකාවේ සිටී.


