ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, 2024 වසදහා පමණක් ඉන්ධන සදහා රුපියල් ලක්ෂ 260 ඉක්මවූ මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.
මේ බව හෙළිව තිබෙන්නේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිට 2024 වසරේ නොවැම්බර් දක්වා වූ කාලය තුළ පැවති අටවන සහ නමවන පාර්ලිමේන්තු කාල සීමාවන්ට අදාලව සිදු කරන ලද විගණන වාර්තාවකිනි.
හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන 2024 වසරේ දී මසකට ඉන්ධන ලීටර් 6,112 බැගින් ලබාගෙන ඇති බව විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
මේ අතර නියෝජ්‍ය කථානායකවරයා අජිත් රාජපක්ෂ සිය නිල වාහන තුනට අමතරව පෞද්ගලික මෝටර් රථය සඳහා රුපියල් ලක්ෂ 85 කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන ලීටර් 21,299 ක් ලබාගෙන තිබෙන බවද අනාවරණය වී ඇත.
පාර්ලිමේන්තු මහ ලේකම් 2022-2024 කාලයේදී භාවිත කළ ඉන්ධන ලීටර් 15,063 හි වාර්ෂික සාමාන්‍යය ලීටර් 5,021 ක් වන අතර මෙය රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන සීමාව ඇති අමාත්‍යාංශ ලේකම්වරයෙකුට වඩා ලීටර් 2,300 ක අතිරික්තයක් බවද දැක්වෙයි.
එමෙන්ම කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා ලිඛිත ගිවිසුමකින් තොරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 9 ක් මගින් කාර්ය මණ්ඩලය නොමිලේ ප්‍රවාහනය කිරීමට 2016 සිට 2024 දක්වා රුපියල් මිලියන 335 කට අධික මහජන මුදලක් වැයකර ඇති බවත් අනාවරණය වී ඇති අතර අදාළ විගණන වාර්තාව නිර්දේශ කර ඇත්තේ 1953 අංක 09 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යාවත්කාලීන කිරීම සහ නිලධාරීන්ගේ ඉන්ධන භාවිතය සඳහා ස්ථාවර සීමාවන් පැනවීම සිදුකළ යුතු බවයි.


