රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :
අනුරාධපුරයේ සුපිරි වෙළඳසැලක් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය නොමැතිව විකිණීම සඳහා විදුලි රැහැන් රීල් (electrical cord reels) ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ.
, අනුරාධපුර 11 වන වීදියේ පිහිටි ‘ආර්පිකෝ ඩේලි’ (Arpico Daily) සුපිරි වෙළඳසැලේ අගෝස්තු 18 වන දින සිදු කළ වැටලීමකදී, අනිවාර්ය SLS සහතිකය නොමැතිව විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ ‘සමරා’ (Samara) වර්ගයේ විදුලි රැහැන් තම නිලධාරීන් විසින් සොයා ගත් බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පැවසුවේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව, අගෝස්තු 21 වන දින මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී අධිකරණය විසින් රුපියල් 200,000ක දඩයක් නියම කරන ලදී.
විදුලි රැහැන් ඇතුළු විදුලි නිෂ්පාදන සඳහා නියමිත ප්‍රමිතීන්ට අනුකූල වීම පාරිභෝගික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව එම අධිකාරිය සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොර විදුලි නිෂ්පාදන මගින් විදුලි සැර වැදීමේ, විදුලි කාන්දුවීම්වල සහ ගිනි ගැනීම්වල අවදානම ඉහළ යා හැකිය.
සුපිරි වෙළඳසැල් සහ වෙනත් සිල්ලර වෙළඳසැල්වලින් විදුලි රැහැන් මිලදී ගැනීමේදී SLS සලකුණ සහ අනෙකුත් අනිවාර්ය තොරතුරු පිළිබඳව පරීක්ෂා කර බලන ලෙස එම අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
නීති උල්ලංඝනය කිරීම් හෝ සැක සහිත නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳව පාරිභෝගිකයින්ට කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.


