රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :
සෞදි අරාබියේ බටහිර කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ, එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හදිසි උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ජංගම දුරකථන වෙත ලැබෙන ‘ජාතික අනතුරු ඇඟවීමේ පද්ධතිය’ (National Warning Alert system) මගින් නිකුත් කෙරෙන හදිසි අනතුරු ඇඟවීම් පිළිපදින ලෙසත්, වහාම ගෘහස්ථව ආරක්ෂිත ස්ථානයකට ගොස් ජනේලවලින් ඈත්ව සිටින ලෙසත් කොන්සල් කාර්යාලය උපදෙස් දී ඇත.
එළිමහනේ සිටින පුද්ගලයින්ට ළඟම ඇති ආරක්ෂිත ගොඩනැගිල්ලකට ඇතුළු වන ලෙස හෝ ශක්තිමත් තාප්පයක් පිටුපසින් ආරක්ෂාව සලසා ගන්නා ලෙසත්, විවෘත ප්‍රදේශ, ජනේල, වීදුරු, බැල්කනි සහ වහලවල් වැනි ස්ථානවලින් ඈත්ව සිටින ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම ජනාකීර්ණ ස්ථාන සහ අනතුරුදායක ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත්, සිදුවීම් ඡායාරූප ගැනීමෙන්, වීඩියෝ කිරීමෙන් හෝ පටිගත කිරීමෙන් වළකින ලෙසත් මෙම නිවේදනය මගින් දැඩිව අවධාරණය කර ඇත.
රථවාහන පදවාගෙන යන ශ්‍රී ලාංකිකයින්ට තම වාහනය මාර්ගයේ පසෙකට කර නවත්වන ලෙසත්, පාලම් සහ උස් ගොඩනැගිලිවලින් ඈත්ව සිටින ලෙසත් උපදෙස් දී තිබේ.
අනතුර පහව ගිය බවට නිල දැනුම්දීමක් ලැබෙන තුරු ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස කොන්සල් කාර්යාලය ඉල්ලා සිටී.
එමෙන්ම, කලබලයට පත් නොවී හෝ තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය නොකරන ලෙසත්, බලධාරීන්ගේ නිල නිවේදන මත පමණක් විශ්වාසය තැබීමේ වැදගත්කම පිළිබඳවත් ශ්‍රී ලාංකිකයින්ට සිහිපත් කරනු ලැබේ.
විශේෂයෙන්ම සිදුවීම් ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම හෝ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අදාළ සෞදි නීති සහ රෙගුලාසිවලට දැඩි ලෙස අනුගත වන ලෙස ද කොන්සල් කාර්යාලය සිහිපත් කරයි.
හදිසි අවස්ථාවකදී, මක්කා සහ මදීනා කලාපවල සිටින පුද්ගලයින්ට 911 අංකය ඇමතිය හැකි අතර, රාජධානියේ අනෙකුත් ප්‍රදේශවල හදිසි අවස්ථා සඳහා 998 අංකය භාවිතා කළ හැකිය.
කොන්සල් කාර්යාලයේ හදිසි ඇමතුම් අංකය 056 098 6671 වන අතර, එය භාවිතා කළ යුත්තේ පවතින හදිසි අවස්ථා සඳහා පමණි; සාමාන්‍ය කොන්සල් සේවා හෝ ශ්‍රමිකයින්ට අදාළ කටයුතු සඳහා එය භාවිතා නොකළ යුතුය.



