සටහන – රුවන් නෙළුගොල්ල
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන තත්වය හමුවේ එහි සම්පූර්ණ බර මෙරට ඉන්ධන මිලට එකතු නොකිරීම සඳහා සහනාධාර පැකේජයක් ලබාදීමේ යෝජනාව අද (28) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“දැන් මතුවෙලා තියෙන තත්වය තමයි අප්‍රේල් මාසෙටත් වඩා වැඩියෙන් දැන් සමහර තැන්වල ඉන්ධන මිල වැඩිවෙලා තියෙනවා. දැන් ඒ මුළු බර ජනතාවට දුන්නොත් විශාල අගයකින් ඉන්ධන මිල ඉහළ යාමේ අනතුරකට මුහුණදීලා තියෙනවා. මොකද ලෝක වෙළඳපොලේ මේ යුධ ගැටුම නිසා ඉන්ධන මිලේ විශාල ඉහළ යාමක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා තියෙනවා ජනතාවට විශාල බරක් නොදෙමින් – පොඩ්ඩක්වත් නොදෙමින් නෙවෙයි හොඳේ – නැවත ඉන්ධන සහනාධාරයක් ඉදිරි මාස තුනට දෙන්න. අපි හෙට කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකාවක් දානවා ඉන්ධන සහනාධාරය සඳහා අලුත් පැකේජ් එකක්. රුපියල් කෝටි 4100ක් හෙට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරනවා අපි ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුන සඳහා යළි ඉන්ධන සහනාධාරයක් දෙන්න. මෙහෙම ආණ්ඩු ලංකාවේ තිබිලා නෑ, මතක තබාගන්න”
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) ගම්පහදී පැවති “වසර දෙකයි – රටට සුබයි” මහා ජන රැලිය අමතමිනි.


