රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW :
මෙල්බර්න් නුවර පිහිටි තම විහාරස්ථානයේදී තරුණ දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කළ බෞද්ධ හිමිනමකට වසර 13 ක සහ මාස දෙකක සිරදඬුවමක් නියම කර ඇති අතර, විනිසුරුවරයා එම අපරාධය විශ්වාසය "කඩකිරීමක්" ලෙස හඳුන්වා දී ඇත.
තමන්ට අතවර කළ පුද්ගලයා සිරදඬුවම නියම කිරීමෙන් සුළු මොහොතකට පසු අධිකරණය හමුවේ සිටි පිරිස දෙස බලමින් සිනාසෙමින් අත වනන විට, විපතට පත් දැරියන් පිළිකුලෙන් යුතුව එය දෙස බලා සිටියහ.
71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන් මෙල්බර්න්හි ගිනිකොනදිග පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කළ අතර, එම තනතුර නිසා ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර උන්වහන්සේට විශාල ගෞරවයක් හිමිව තිබිණි.
මෙම නඩුව හැසිරවූ විනිසුරු පර්දීප් තිවානා (Pardeep Tiwana) මහතා විජිත හිමියන්ව හඳුන්වා දුන්නේ “අඳුරු සහ විකෘති මානසික පැත්තක්” තිබූ පුද්ගලයෙකු ලෙසය.
"ඔබ ඔබේ විකෘති ලිංගික තෘප්තිය උදෙසා තරුණ, අහිංසක දැරියන් ගොදුරු කරගත්තා," යැයි විනිසුරුවරයා පැවසීය.
මෙම බරපතළ වරදට අනුව, සමාව ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට පෙර එම හිමියන්ට අවම වශයෙන් වසර නවයක සහ මාස හතරක සිරදඬුවම් කාලයක් විඳීමට සිදුවනු ඇත.
දඬුවම් නියම කිරීමෙන් පසු ලැබුණු කෙටි විවේක කාලයේදී විජිත හිමියන් තමන්ට සහයෝගය දැක්වූවන් දෙස බලා සිනාසුණු අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් විත්ති කූඩුව වෙත පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කළහ.
අතවරයට ලක්වූ දැරියන් මෙයට තම කෝපය පළ කරද්දී, ආරක්ෂක නිලධාරීන් විසින් එම හිමියන්ට අනෙක් අය සමඟ කතාබහ කිරීම වළක්වන ලදී.
“මේක පුදුම විකාරයක්,” යැයි විපතට පත් එක් තරුණියක් ශබ්ද නඟා පැවසුවාය.
තම කාෂා වස්ත්‍රය වෙනුවට අළු පැහැති බන්ධනාගාර ඇඳුමකින් සැරසී සිටි විජිත හිමියන්, ළමා ලිංගික අපයෝජන චෝදනා නවයකට සහ ළමයෙකු සමඟ අශෝභන ලෙස හැසිරීමේ චෝදනා අටකට වරදකරු බවට ඉකුත් වසරේ පැවැති නඩු විභාගයේදී තීරණය විය.
උන්වහන්සේගෙන් අපයෝජනයට ලක්වූයේ 1994 සහ 2002 අතර කාලය තුළ ස්ප්‍රින්ග්වේල් (Springvale) සහ කීස්බරෝ (Keysborough) හි පිහිටි මෙම විහාරස්ථානයට පැමිණි තරුණ දැරියන්ය.
බොහෝ අවස්ථාවලදී දෙමාපියන් අසල කාමරවල සිටියදී, විජිත හිමියන් මෙම දැරියන්ව තම ලැගුම්ගෙයට රවටා ගෙනගොස් ලිංගික අතවරයට ලක්කර ඇති බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.
මෙම කාන්තාවන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු 2023 වසරේදී හිමියන්ට එරෙහිව චෝදනා ගොනුකරන ලදී.
විනිසුරු තිවානා මහතා පැවසුවේ මෙම හිමියන්ගේ අපරාධ හේතුවෙන් විපතට පත් දැරියන් දශක ගණනාවක් තිස්සේ ලැජ්ජාවෙන් සහ බියෙන් පීඩා විඳි බවයි.
"ජීවත් වෙන්න නම්, මට කිසිම හැඟීමක් ඇති කර නොගෙන ඉන්න මටම පුරුදු වෙන්න සිද්ධ වුණා," යැයි අතවරයට ලක්වූ එක් කාන්තාවක් පැවසුවාය.
තමන්ට සිදුවූ හානිය පිළිබඳ ප්‍රකාශයක් ලබා දෙමින් එම කාන්තාව සඳහන් කළේ, සිවුරක් දැකීමෙන් හෝ හිමිවරුන් පිරිත් සජ්ඣායනා කරන හඬ ඇසීමෙන් පවා තමා දැඩි මානසික පීඩාවකට පත්වන බවයි.
නඩු විභාගයේදී සාක්ෂි දුන් සෑම වින්දිතයෙකුම "සත්‍යවාදී, බුද්ධිමත් සහ පැහැදිලි ලෙස කරුණු දැක්වූ" අය බව විනිසුරු තිවානා මහතා පැවසීය.
නඩු විභාගයේදී විජිත හිමියන් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, උන්වහන්සේගේ නීතිඥයින් තර්ක කළේ මෙවැනි සිදුවීම් සිදු නොවූ බවත්, පැමිණිලිකරුවන්ගෙන් ඇතැම් අය ගැන හිමියන්ට මතකයක් නොමැති බවත්ය.
උන්වහන්සේ ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු 15 දී පැවිදි වූ බව අධිකරණයට කරුණු වාර්තා විය.
පසුව විජිත හිමියන් ස්වීඩනයට ගොස් එරට ප්‍රජාවගේ ගෞරවය දිනාගනිමින් පුරවැසිභාවය ලබාගෙන ඇති අතර, 1994 දී මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වීම සඳහා පැමිණ ඇත.
දඬුවම් කාලය අවසානයේ විජිත හිමියන් පිටුවහල් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින අතර, නැවත ස්වීඩනයට යාමට උන්වහන්සේ කැමැත්තෙන් පසුවන බවද අධිකරණයේදී කියැවිණි.
එහිදී උන්වහන්සේ විහාරස්ථානයේ දායකයින්ගේ "දැඩි ගෞරවයට" පාත්‍ර වූ බවත්, එම නිසාම දරුවන් උන්වහන්සේ සමඟ තනි කිරීමට දෙමාපියන් තුළ “කිසිදු බියක් හෝ සැකයක්” නොතිබූ බවත් විනිසුරු තිවානා මහතා පැවසීය.
"ඔබ මේ තැබූ දැවැන්ත විශ්වාසය ඉතාම අනපේක්ෂිත සහ අතිශය නින්දිත ආකාරයෙන් කඩ කළා," යැයි විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.
විජිත හිමියන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඩිමෙන්ෂියා (මතකය අඩුවීමේ රෝගය) ඇතුළු රෝගාබාධ ගණනාවකින් පීඩා විඳින බවත් උන්වහන්සේගේ නීතිඥයින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් ලෝකය තුළ බුදුදහම පතුරවාලීමේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් වගකීම් දරණ මහා සංඝරත්නයට මෙම විජිත හිමියන් මහා කළු පැල්ලමක් එක්කර අවසානයි.


