සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්යම ප්රදේශයේ මැඩ්රිඩ් අගනුවර සහ සෙවිල් නගරය යා කරන අධිවේගී දුම්රිය මාර්ගයේ ටොලෙඩෝ පළාතේ උර්දා ප්රදේශය ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 68 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
2026 ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ මෙම අනතුරට එකම දිශාවට ගමන් කරමින් ස්පාඤ්ඤයේ රාජ්ය දුම්රිය සමාගම වන රෙන්ෆේ (Renfe) සහ පෞද්ගලික දුම්රිය සමාගමක් වන ඉරියෝ (Iryo) විසින් මෙහෙයවනු ලබන අධිවේගී දුම්රිය දෙකක් සම්බන්ධ වී ඇත. ඉන් එක් දුම්රියක් දුම්රිය මාර්ගයේ නතර කර තිබූ අනෙක් දුම්රියේ පිටුපස ගැටීමත් සමඟ මැදිරි කිහිපයක් පීලි පැන අනතුරට ලක්ව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර, මියගිය සංඛ්යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු අනතුරු අඟවා තිබේ. සහන සේවකයන් විසින් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ද ක්රියාත්මක කර ඇත.
අනතුරට හේතුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, දුම්රිය ආරක්ෂක සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් සහ ඉන් අනතුරුව ගනු ලැබූ තීරණ පිළිබඳව ද අවධානය යොමු කර අැති අතර අනතුර හේතුවෙන් මැඩ්රිඩ්, සියුඩාඩ් රියල් සහ අන්දලූසියා ප්රදේශ අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
ස්පාඤ්ඤ අග්රාමාත්ය පෙද්රෝ සැන්චෙස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් ඔක්තෝබර් 29 සිට 31 දක්වා ජාතික ශෝක කාලයක් ප්රකාශයට පත් කිරීමට ද කටයුතු කර තිබේ.

