‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ සිටියදී පලා යාමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම, සිද්ධියට අදාළ අනෙක් විත්තිකරුවන් දෙදෙනා නඩුවෙන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට ලබා දී තිබූ පූර්ව අධිකරණ නියෝගයකට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

එම අභියාචනය විභාග වෙමින් පවතින බැවින්, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” අන්තර්ජාල වීඩියෝ සබැඳියක් (online link) ඔස්සේ විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

එහිදී විනිසුරුවරයා ඇමතූ ඔහු, තමා සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත්, අධිකරණ නියෝගයකින් තොරව තමාට ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත ගෙන යා නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් තමාට දැනුම් දුන් බවත් ප්‍රකාශ කළේය.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙසේය:

“ස්වාමීනි, මම ආත්‍රයිටීස් රෝගයෙන් පෙළෙනවා. මගේ කකුලට ඇතිවෙලා තියෙන අමාරුවක් නිසා මට ඇවිදින්නත් අමාරුයි. බන්ධනාගාරයට පැමිණෙන වෛද්‍යවරයා පවා කිව්වේ මගේ දණහිසේ දියර පිරිලා තියෙනවා කියලා. ඒත් මට ප්‍රතිකාර ලබාගන්න රෝහලකට ගෙනියන්න අධිකරණ නියෝගයක් අවශ්‍යයි කියලයි මට කියන්නේ. ස්වාමීනි, මට වැසිකිළියට යන්නවත් කකුල හරියට නමන්න බැහැ. ඒ නිසා මට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකිවන පරිදි සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා, විත්තිකරුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස වැලිකඩ බන්ධනාගාරයට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා”, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් “මිදිගම රුවන්” සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව නැවත දෙෙසම්බර් 17 වනදා කැඳවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...