සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් ඉරානයට එරෙහිව පුළුල් හමුදා ප්‍රහාර ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීම් සිදුකර ඇති පසුබිමක, ඉරානය සිය රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් වේගවත් කර තිබේ.
ඇමෙරිකාව යළිත් ඉරානයට එරෙහිව විශාල පරිමාණයේ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බවට ඇමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් Axios වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මේ අතර, බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ඉතිරි කොටස් විනාශ කිරීමට පවා සිදුවිය හැකි බවයි.
ඒ අනුව රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර්, කුවේට් සහ තුර්කිය ඇතුළු රටවල් සමඟ සාකච්ඡා තීව්‍ර කිරීමට ඉරානය පියවර ගෙන ඇත.
රුසියාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි නොවැම්බර් 5 වැනිදා මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී තිබේ. එහිදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා කමේනිගේ පණිවිඩයක් ද පුටින් වෙත භාර දී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අතර දෙරට අතර කලාපීය ආරක්ෂාව, යුද්ධයෙන් පසු ඇතිවිය හැකි තත්ත්වයන් සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන්ම රුසියාවේ සිට ඉරානය දක්වා ස්වභාවික ගෑස් නළ මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත. එමඟින් ඉරානයේ ගෑස් හිඟය අවම කිරීමටත්, රුසියානු ගෑස් අසල්වැසි රටවලට සැපයීමටත් හැකි වනු ඇති බව රෙසායි ප්‍රකාශ කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සාකච්ඡා පවත්වා ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහ්යාන්, සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් ඇතුළු නිලධාරීන් සමඟ කලාපීය ආරක්ෂාව සහ ආතතීන් අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.
කටාර් සහ ඕමානය සමඟ පැවති සාකච්ඡාවලදී ද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.
කෙසේ නමුත්, ඉරානය යළිත් ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්වුවහොත් පෙරට වඩා පුළුල් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට ඉරාන බලධාරීන් අනතුරු අඟවා ඇති අතර ඇමෙරිකාවට ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සහාය වන ඕනෑම රටක් හෝ හමුදා බලවේගයක් ඉරානයේ නීත්‍යනුකූල ඉලක්කයක් විය හැකි බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර ඇත.
මේ අතර, කටාර් එමීර්වරයා සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සමඟ නොවැම්බර් 6 වැනිදා දුරකථන සාකච්ඡාවක් පවත්වා කලාපීය අර්බුදය අවසන් කිරීම සඳහා සිදු කෙරෙන රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කර ඇති බව කටාර් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන අතර, සාමාන්‍යයෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ එම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ.
ඒ අනුව එහි නාවික ගමනාගමනයට ඇතිවන බාධා ලෝක බලශක්ති වෙළෙඳපොළට මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකයට ද බලපෑම් එල්ල කළ හැකිය.
රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව පැවතියද, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේද තවමත් විසඳී නොමැති බැවින් මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම තවදුරටත් පවතී.

