මේ අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම ගැටලුවට විසඳුමක් නොමැති බවත් එනම් ජීවත් වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැති බවත් බඩු මිල, ජිවන බර වැඩි වීම හා උද්ධමනය වැඩිවීමට පැහැදිලි උත්තරයක් විසඳුමක් අයවැය තුළින් නොලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
අද වන විට තරුණ, අධ්‍යාපනය ලැබූ තරුණයන්ගේ විරැකියා ප්‍රතිශතය වැඩිම අප රටේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන බවත් 43%ක් විරැකියා ප්‍රතිශතයක් සේම රටේ දුප්පත්කම 60%කට වැඩි බව ලෝක බැංකුව පවසන බවත් දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන් කරන්න මේ රජයට නොහැකි වී ඇති බවත් මේ අයවැයෙන් පවා දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අයවැයෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කිසිදු සහනයක් නෑ
ලක්ෂ 40කට රැකියා සපයන දළ දේශීය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබා දෙන අප රටේ ආර්ථිකයේ කොදුනාරටිය වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් නොමැති බවත් මොවුන් වෙනුවෙන් පොලී රහිත ණය දෙනවා කිව්වත් ඒ ණය දෙන්නේ පවතින බැංකු ක්‍රමය තුළින් බවත් බැංකුවට මේ ප්‍රතිපාදන යැවූ පසු ඒ මුදල් ලැබෙන්නේ සුපුරුදු ආරක්ෂිත අයට පමණක් මුදල් ලබා දෙන බවත් අප රටෙ ක්‍රියාත්මක වූ ඛේදවාචක නිසා විපතට පත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කිසිදු සහනයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේක කිසිදු මනුෂ්‍යත්වයක් නොමැති ගිරාපෝතක අයවැයක් විතරයි
තරුණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කරනවා යැයි පැවසුවත් තරුණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කරන්නට මූලික ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය අවශ්‍ය වුවත් ඒ සඳහා ද කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ජනාධිපතිවරයා ලබා දුන් සංඛ්‍යාලේඛන අනුවම රටේ ආර්ථික වර්ධනය අඩු වී උද්ධමනය වැඩි වන බවත් ලෝකයේ බොහෝ රටවල ජිවත් වීමේ අවශ්‍යතා සපුරා ගත නොහැකි වී ඇති නිසා ජනතාව පාරට බැස ඇති බවත් මේ තත්ත්වයම අප රටටත් උදා වී ඇති බවත් ජනාධිපතිවරයා පැය 5ක කාලයක් සිදු කළේ විසදුම් නොමැති මනුෂ්‍යත්වයක් නොමැති ගිරාපෝතක අයවැයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.


